ඔබ පැතූ ලොව අපි ගොඩ නඟමු ...


ජාතිකවාදී බලමුළු එකට රොද බඳින නිමේෂයක ආචාර්ය නලින් ද සිල්වා ගුණානුස්මරණය කරමින් පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය ඊයේ (26) පැවැත්වූ මාර්ගගත සැසියේ නාලක ජයසේන මහතා පළ කළ අදහස්....

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මගින් කීර්තිශේෂභාවෝපගත ආචාර්ය නලින් ද සිල්වා සුධීමතුන් අපේ ලෝකවලට බලපෑ අන්දම පිළිබඳ කෙටි ගුණ සමරු කථනයක් කරන්නට කළ ඇරියුමට පළමුව පින් දෙමි. මගේ මේ කෙටි ගුණානුස්මරණය කොටස් තුනකට බෙදා දක්වමි. ඒ නොදැක දුටු ආචාර්ය නලින් ද සිල්වා, දැක දුටු ආචාර්ය නලින් ද සිල්වා සහ නිවන් නොදුටු ආචාර්ය නලින් ද සිල්වා වශයෙනි.

නොදැක දුටු ආචාර්ය නලින් ද සිල්වා ලෙස මා අදහස් කරන්නේ ලිපි ලේඛන මගින් පමණක් ඇසුරු කළ අප ගුරුතුමාය. ආචාර්ය ද සිල්වා මගේ ලෝකයට පැමිණෙන්නේ විදුසර පුවත්පතෙනි. මා කුඩා කල විෂය මූල, මනෝ මූල වැනි වචන මට පුරුදු ඒවා වූයේ මාගේ පියා ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වීමෙන් ලැබූ ආභාසයත් බළපිටිය කොට්ඨාසයේ පක්ෂ රැස්වීම් අප නිවසේ තිබීමත් හේතුවෙනි. එහෙත් යට කී පාරිභාෂික වදන් ගැන මා නිරවුල්ව දැන ගන්නේ නලින් ද සිල්වා රචිත අපේ ප්‍රවාද ලිපි පෙළිනි. වසර කිහිපයක් ඒ ලිපි ඇසුරු කළ මා හට එවන් වචනවල අර්ථය හඳුනා ගැනීමට එහා ගිය ආචරණයක් ඔහු නිසා සිදු විය.

පළමුවැන්න නම් මා පියාගේ ආභාසයෙන් මාක්ස්වාදියෙකු බවට පත් නොවී ආචාර්ය ද සිල්වාගේ ලිපිවල ආලෝකයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදියෙකු වීමයි. කෙසේ වෙතත් 10 වන ශ්‍රේණියේදී එතුමා ලියූ ලිපියක් විවේචනය කරමින් මා විදුසරට ලිපියක් සම්පාදනය කළ අතර, එතුමා ඊට පිළිතුරු දුන්නේ මට වඩා ලෝවැඩ සඟරාව කතුවරයාට අන්තර්ඥානයක් ඇති බවයි.

නොදුටු නලින් මා හට සිදු කළ දෙවැනි බලපෑම වූයේ මා උසස් පෙළට ගණිත විෂයය තෝරා ගැනීමයි. එසේ ගණිතය තෝරා ගත්තේ අන් කිසිවක් නිසා නොව එතුමා ලියන ලිපි නිසායාකාරව වටහා ගැනීමේ අටියෙනි. කෙසේ වෙතත් ගණිතය උසස් පෙළට කිරීමෙන් මා ලද ප්‍රතිඵලය F අකුරු තුනක් නමුත් ගණිතය හදාරා ලැබූ ශික්ෂණය ගැන මම අදටත් තුටු වෙමි.

දැක දුටු ආචාර්ය නලින් ගැන මී ළඟට ඔබට පවසමි. එනම් මා ඇසුරු කළ නලින් සර්ය. පළමු වර ගණිතයෙන් උසස් පෙළ අසමත් වුවත් මාස කිහිපයකින් කලා විෂයයෙන් උසස් පෙළට මුහුණ දුන් මා හට නීති උපාධියක් හදාරන්නට ලකුණු තිබිණ. එහෙත් නැවතත් ආචාර්ය ද සිල්වා මගේ ලෝකයට බලපෑම් කළේය. එතුමාගේ ලිපිවල කියැවෙන මානව ශාස්ත්‍ර හදාරන අටියෙන් මා තෝරාගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයයි. ඒ අතර කොළඹ නීති පීඨයේ සාහිත්‍ය සහ නාට්‍ය කලා සංගමයට සම්බන්ධවන්නට ශිෂ්‍යයෙකු ලෙස මට හැකි විය. එම සංගමයෙන් දේශනයකට ආචාර්ය නලින්ව ගෙන්විය යුතු යැයි යෝජනා කොට එය මා හට සිදු කරන මෙන් දැනුම් දුනි. දැන් අභියෝගය ආචාර්ය නලින්ගේ දුරකථන අංකය සොයා ගැනීමයි. මා සතුව තිබූ විදුසර පුවත්පත් ගොන්න පෙරළන විට එහි එතුමාගේ සමීපතම හිතවතෙකු වන එවකට රජරට විශ්වවිද්‍යාලයේ සේවය කළ වෛද්‍ය චන්න ජයසුමන මහතාගේ ලිපියක අග තම දුරකථන අංකය සටහන් කොට තිබිණ. එතුමා අමතා මගේ අවශ්‍යතාව පැවසූ විට නලින් ද සිල්වාණන්ගේ නිවසේ දුරකථන අංකය කටපාඩමෙන් චන්න ජයසුමන මැතිතුමා විසින් පවසන ලදි. ඉන්පසු ආචාර්ය නලින් ද සිල්වාණන් අමතා වේලාවක් ගෙන එතුමා මුණ ගැසීමට වර්තමානයේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වන පුන්සර අමරසිංහ මිතුරා සමග සිංහල ක්‍රමයට බුලත් අතක් සහ කෙසෙල් ගෙඩි ඇවරියක් රැගෙන මහරගම විසූ ඒ මහා දාර්ශනිකයාගේ නිවසට අපි ගියෙමු.

ගිය සැණින් එතුමා විමසුවේ ඔයාලා නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය කියවා තිබේද යන්නයි. සුහද කථා බහකින් අනතුරුව අපේ ඇරියුම එදා එතුමා පිළිගත් අතර, විශ්වවිද්‍යාලයේ අදාළ දේශනය එතුමා කොළඹ සරසවියෙන් පිටමං කළ පසු පැමිණ කළ ප්‍රථම දේශනය විය. දෙසුම ඇරඹීමට පෙර එතුමා විසින් ප්‍රතිවාදීන් පළවා හරින ලද ත්‍රාසජනක සිදු වීම කියන්නට මෙහි කාලය නැත.
එතැන් පටන් ආචාර්ය නලින් ද සිල්වා ගුරුතුමා සහ මා අතර ඉතා හිතවත් සම්බන්ධතාවක් ගොඩ නැඟිණ. මිය යන තෙක්ම එතුමාගෙන් ලැබුණු ගුරුහරුකම් පමණක් නොව එතුමා අපට පෙන්වූ දයාව කරුණාව මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. මා බස් රථයේ යන විට පවා ගුරුතුමා සමග සංවාදවල නිරත විය. පාණදුර පසු කරන විට " සර් දැන් මට පාණදුරේ රන්කොත් විහාරය පෙනෙනවා" යැයි මා පවසද්දී දුර සිටින එතුමා ' "සාධු සාධු සාධු" යනුවෙන් හඬ නඟා කියූ වදන් අදටත් දෝංකාර දෙන්නා සේය. එතුමා ශ්‍රද්ධා සම්පන්න අව්‍යාජ සිංහල බෞද්ධයෙකු විය.

සංස්කෘතියාන්තර දැනුම ප්‍රසම්පාදන මාර්ග හතරක් එතුමා ඉදිරිපත් කළේය. එහි සිව්වැන්න වූයේ දැනුම සංස්කරණයයි. අනෙක් ආකාර තුන ඇරඹෙන්නේ අයන්නෙන් හා අවසන් වන්නේ යයන්නෙන් බැවින් ඊටත් අනුරූප වදනක් යෝජනා කරන මෙන් එතුමා මගෙන් දිනක් ඉල්ලා සිටියේය. ත්‍රිපිටකාගත ධර්මය අනුව මම ඊට අභිසංස්කරණය නම යෝජනා කළෙමි. 2022 දෙසැම්බර් 21 ලිපියේ එතුමා මෙසේ දක්වයි. උපුටා ගැනීම. " මගේ මිතුරෙකු මට පවසා සිටියා සංස්කරණය යන්න අභිසංස්කරණය ලෙස හඳුන්වන්න කියා. මා එයට කැමැතියි" උපුටා ගැනීම අවසන්. මට අවශ්‍ය වූයේ ඒ ගැන කීමට නොවෙයි. එතුමා එම ලිපිය පළ කළ පසු දුරඇමතුමක් දී මට පැවසුවේ " ඔබේ නම එහි ලියුවේ නැහැ.මොකද ඔබ විශ්වවිද්‍යාලයකට බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණයකදී ඔබත් මාත් අතර හිතවත්කම ඔබට බාධාවක් වෙන්න පුළුවන්" එය එතුමා මා ගැන
පෞද්ගලික දැක්වූ අසීමිත සෙනෙහසත් අපේ රටේ විශ්වවිද්‍යාල සම්බන්ධ එතුමාගේ දුර දකින සහ පූර්වඅත්දැකීම් සහිත ඥාණයත් පසක් වන්නක්.
එතුමා ගැන කරන මේ ගුණ කථනයේදී එතුමාගේ ආදරණීය බිරිඳ තමරා මැඩම්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් මම කැමැත්තෙමි. අප එම නිවසට ගිය සෑම මොහොතකදීම ඒ දෙපළ අපට ඉතා උණුසුම්ව සැලකූහ. අවසන් වරට මා එතුමාගේ නිවසට ගියේ, එතුමාගේ පුස්තකාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කරන්නට පෙර කැමැති ඕනෑම පොතක් තෝරා ගන්නා මෙන් එතුමා කළ දැනුම් දීමකටය.

එතුමා සමග මෙරට ප්‍රසිද්ධ මාධ්‍යයක අවසන් විද්‍යුත් සාකච්ඡාව පැවැත් වූ මා, නිවන් නොදුටු නලින් ද සිල්වා ගැන මෙසේ පවසන්නට කැමැතියි. එතුමා වරක් මා සමග පැවසුවේ, තොටගමුවේ සිරි රාහුල හිමියන් සමග කථා කළ හැකි බව කියන අධ්‍යත්මවේදියෙකු හමු වූ බවත් ඒ අවස්ථාවේ එකී පුද්ගලයා විසින් තොටගමුවේ හිමියන්, "ආ මේ මහත්තයා මම අනුරාධපුරය යුගයේ ඉඳලාම දන්න කෙනෙක්" යනුවෙන් ආධ්‍යාත්මික පණිවුඩයක් ලෙස ප්‍රකාශ කරන ලද බවත්ය. නාථ දෙවියන් සමග ආධ්‍යාත්මිකව සන්නිවේදනය කළ හැකි මාගේ ගුරුවරයෙකුගෙන් ලැබෙන පණිවුඩ ගැනද එතුමා නිරතුරු විමසිලිමත් විය.
සැබැවින්ම එතුමා සතුව තිබූ ඒ ආධ්‍යාත්මික දැක්ම බටහිර විද්‍යා ලෝකයට වටහා ගන්නට තවත් වසර ගණනාවක් ගත වනු ඇත. අස්මදාචාර්ය නලින් ද සිල්වා සූරීන් මෙරට මිය නොයන්නට පැතුවත් යළි මෙබිම උපදින්නට පැතූ බව අපි සැවොම දනිමු. යුගකාරක අවශ්‍යතා ඉටු කරනු පිණිස සංසාරයේ නැවත නැවතත් එකම රටක දැයක උපදින අය සිටින බව ආචාර්ය නලින් ද සිල්වා පෙන්වා දුන් දැනුම ලබා ගැනීමේ අපේ ක්‍රම තුනෙන්ම අපට පසක් කළ හැකිය.
ඉතින් නිවන් නොදුටු අපේ ජාතියේ මහා ප්‍රාඥයා වූ ආචාර්ය නලින් ද සිල්වාගේ භවකාය ජීවත්ව සිටි ආචාර්ය නලින්ට වඩා දහස් ගුණයකින් බලවත් බව අපි සැම කල්පනා කළ යුතු නොවේද ? මා කෙටියෙන් නමුත් එතුමා වෙනුවෙන් යෝජනා දෙකක් ඉදිරිපත් කරමි.

පළමුවැන්න නම් එතුමාගේ මහා තිසීසය වූ මගේ ලෝකය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට කිසිවෙකු මැදිහත් විය යුතු බවයි. ඒ අනුව එම කෘතියට අටුවා ටීකා ටිප්පණි ප්‍රකරණ ඉදිරියේදී දර්ශනයට උනන්දු අයට සම්පාදනය කරන්නට අපට අවකාශයක්, අවස්ථාවක් උදා වනු ඇති බව මගේ විශ්වාසයයි. දෙවැන්න අප හිතවත් තාරක අයියාගෙන් කරන ඉල්ලීමකි. ඒ එතුමා අවසන් වරට රචනා කරමින් සිටි කලුකුහර හා මන්දාකිණි සම්බන්ධ ගණිතමය පත්‍රිකාව අසම්පූර්ණ එකක් විය හැකි වුවත් එය මරණෙන් පසු ප්‍රකාශනයක් ලෙස ( as a posthumous work) පළ කරන්නට කටයුතු කරන ලෙසයි.

අප්‍රේල් 30 වනදා රාත්‍රියේ එතුමා මා සමග පැවසූ අවසන් වචන දෙක වූ " තෙරුවන් සරණයි " යන සෙත් ප්‍රාර්ථනය ඔබ සැමට කරමින් චින්තනය විෂයයක මාගේ ආදරණීය ගුරුතුමාට, අභිසංස්කරණ සාපේක්ෂතාවාදයේ පියාට පැතූ බෝධියක්ම වේවායි පතමින් මම නවතිමි.
Share: