පුරා වෘත්තයක නිමාව - රත්තනදෙණියේ මේධානන්ද හිමි


-රත්තනදෙණියේ මේධානන්ද හිමි

සිංහල බෞද්ධ සංස්කෘතිය බිහි කළ විශිෂ්ටතම දාර්ශනිකයා, චින්තකයා වූයේ ආචාර්ය නලින් ද සිල්වා මහතාය. ඔහුට සම කළ හැකි කිසිදු ප්‍රාඥයෙක් ලංකාවේ දිවමන්ව නොසිටියේය. එවැනි සංගත දැනුමක් ඇත්තෙකු යළි සියවස් ගණනකින්වත් බිහිවෙනු ඇතැයි සිතිය නොහැකියි. එහෙත් එතුමාගේ අදහස් සූචනය කරගත නොහැකි පිරිස්ට නම් එතුමා මිත්‍යා මත දරන්නෙක් හා ජාතිවාදියෙක් විය. එය එතුමගේ ප්‍රශ්නයක් නොව තමන්ට ඇති අඩු දැනුම හා ලඝු මනස පිළිබඳ ප්‍රශ්නයකි. අපගේ සිතුම් පැතුම් හා හැගුම් කාලයක් තිස්සේ පෝෂණය වූයේ එතුමන් විසින් හාරා පාරා පාදා සංස්කරණය කරදුන් සිංහල බෞද්ධ දැනුමෙනි.

1944 ඔක්තෝම්බර් 20 දින පානදුර, කෝවිල ගොඩැල්ලහි උපන් නලින් ද සිල්වා මහතා පානදුර වෑකඩ බෞද්ධාලෝක මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධාපනය ලබා ද්විතියික අධාපනය ලැබීමට යන්නේ කොළඹ රාජකීය විද්‍යාලයටය. 1962 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1967 දී ගණිතය අංශයෙන් පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් ලැබූ එතුමා ආචාර්ය උපාධිය සඳහා ගියේ එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයටය. මහාචාර්ය මැක්රේ (William McCrea) යටතේ සෛද්ධාන්තික විශ්ව න්‍යාය (Cosmology) පිළිබඳ ආචාර්ය උපාධි නිබන්ධනය අවුරුදු එක හමාරක් ( මාස 18) වැනි කෙටි කාලයකින් අවසන් කර ආචාර්ය උපාධිය ලබාගත් එකම විද්වතා වන්නේ නලින් ද සිල්වා මහතාය. 1970 දී ආචාර්ය උපාධිය ලබනවිට එතුමාගේ වයස අවුරුදු 26 කි. එයද ලංකාවේ කිසිවෙකු තවමත් අතික්‍රමණය නොකළ වාර්තාවකි. ආචාර්ය උපාධියෙන් පසු ලංකාවට පැමිණි එතුමා පේරාදෙණි සරසවියේ කථිකාචාර්යවරයකු වශයෙන් වසර 05ක් සේවය කළේය. 1979 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ආචාර්යවරයකු ලෙස පත්විය. අවසන් කාලයේ විශ්‍රාම ලැබූයේ කැලණිය විශ්වවිද්‍යාලයේද කලක් සේවය කළ මහාචාර්යවරයකු වශයෙනි.

Sussex විශ්වවිද්‍යාලයේ හිටපු කීර්තිමත් ගණිතඥයකු මෙන්ම රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිවරයකු ද වූ මහාචාර්ය විලියම් මැක්රේ නලින් ද සිල්වා මහතා ලංකාවට එද්දී "ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි" (your country will be proud of you) යනුවෙන් ලිපියක ලියා දුන්නත් ඉතා අතලොස්සක් හැර අපේ රටේ මිනිසුන් එතුමා ගැන ආඩම්බර වුණේ නැත. එතුමාගේ වටිනාකම හදුනා ගත්තේ නැත. විසුරුණු ජාතික අදහස්වලට න්‍යායක් ගොඩනගා දුන්නේ මහැදුරු නලින් ද සිල්වා වුවත් ඒ බව ජාතික චින්තන කදවුරේ අයටවත් නිසි බරින් තේරුම් ගෙන තිබුණේ නැත. බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මනාව මිදුණු එතුමාට සම කළ හැකි ප්‍රාඥයෙක් මෑත ඉතිහාසයේ නැත. එතුමා මට අවසන්වරට කතා කලේ අදින් දින දහයකට පෙර අප්‍රේල් 22 දා හවසය. ඒ වෙද්දී එතුමා ඉතාම නිරෝගී සුවයෙන් පසුවිය. නමුත් අනපේක්ෂිත ලෙස එතුමා අද මෙලොව හැරගොස් ඇති පුවත අසා ඉමහත් සංවේගයට පත්වෙමි.
එතුමාට නිවන් සුව ලැබේවා..!
.
©|රත්තනදෙණියේ මේධානන්ද හිමි.|
2024 .05. 02.
Share: