මහාවංශයේ ලියැවෙන අප්‍රමාණ මිනිසා - මනොජ් අබයදීර



සිය පියාගේ වියෝවෙන් පසු ලිපියක් ලියමින් ආචාර්ය නලින් ද සිල්වා එහි සිරස්තලය සඳහා යොදා තිබුණේ ‘අපි මහාවිහාරිකයෝ වෙමු’ කියාය. ආචාර්ය නලින් ද සිල්වාගේ දාර්ශනික චින්තන මෙහෙවර සඳහා මෙම හෙඩිම උචිත බව මේ තීරුවේ අදහසය. මහා විහාරය වනාහි පිරිසිදු ථෙරවාදයේ ආරක්ෂක බළඇණියය. ඒ සඳහා වන මෙහෙවර ජාතියක් ලෙස භාරගෙන ඇත්තේ සිංහලයාය. මෑත භාගයේදී ඒ සඳහා කතිකාවන් විශාල ප්‍රමාණයක් ඇතිව තිබූ මුත්, ඒ සඳහා වන දාර්ශනික පැතිකඩක් විවර කරන ලද්දේ නලින් ද සිල්වා සූරීන් විසිනි.

ඔහු සිය මෙහෙවර සඳහා පිවිසෙන ලද්දේ වමේ දේශපාලනය සහ විද්‍යාව සමඟය. ඒ මොහොතේ ඔහු බටහිර දැනුමෙන් සන්නද්ධව සිටි වාමාංශික දේශපාලනයේ ක්‍රියාකාරිකයෙක් විය. එතැනින් හෙතෙම විතැන් වන්නේ මාක්ස්වාදයේ ඇති දාර්ශනික අර්බුදය සමඟය. 1981 වසරේදී මාක්ස්වාදය සඟරාවේ අප්‍රේල් – ජුනි කලාපයට දීර්ඝ ලිපියක් ලියමින් ඔහු මාක්ස්වාදය සඳහා ප්‍රබල විවේචනයක් එක් කළේය. එතැන් පටන් ඔහු ජාතික කඳවුරේ ලකුණක් විය. නලින් ද සිල්වාගේ මා හැඟි ක්‍රියාකාරිත්වය පෙන්නුම් කළ අවස්ථා ගණනාවකි. වම සහ ලිබරල් යන කඳවුරු දෙකම ‘ජාතිය යන සංකල්පය ගර්හාවට ලක් කරමින් සිටින අවස්ථාවක, විද්‍යාත්මක ක්‍රමවේදය අනුව ජාතියක් නැතැයි උගත්හු දොඩවන කාලයක නලින් ජාතිය වෙනුවෙන් ප්‍රවාද තනනු ලැබීය. ‘ජාතිය, සංස්කෘතිය සහ චින්තනය’ යන ඔහුගේ පොත, ඒ සඳහා මහා ලියවිල්ලක් විය. ‘මගේ ලෝකය’ ඔහු රචනා කරන ලද්දේ, එතෙක් පැවති දාර්ශනික ධාරාව මත ජාතික ලකුණ ස්ථාපිත කරමිනි. “ඇවැත්නි, වැලිදු මම සංඥා සහිත සිත් සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝක සමුදයයත්, ලෝකනිරෝධයත්, ලෝකනිරෝධගාමිනී පටිපදාවත් පණවමි.” යැයි සුගත්හු, රෝහිතස්ස සූත්‍රයේ දී වදාළ ධර්මය ඔහු ‘මගේ ලෝකය’ පොතේ මුදුනත කර ගත්තේය. ඒ සා මහා දාර්ශනික ධාරාව විසින් සවිමත් කරන ලද්දේ මහා විහාරයේ දායාදය.

නලින් ද සිල්වාගේ සක්‍රිය දායකත්වය ලැබුණු තවත් ක්ෂේත්‍රයක් වූයේ දෙමළ ජාතිවාදය න්‍යායික වශයෙන් පරාජය කිරීමය. ඔහු පිටියට පිවිසෙන විට වාමාංශිකයෝ සමාජයේ තහවුරු කර තිබූ මතය වූයේ ස්‌වයං තීරණ අයිතිය’ ඔස්සේ මේ රට ෆෙඩරල්කරණය සඳහා වූ මාවතය. ආචාර්ය නලින් ද සිල්වා මේ සියල්ල අනෙක් පිට පෙරළන ලද්දේ න්‍යායිකව සහ ඉතිහාසය අනුවය. ඔහු ෆෙඩරල්වාදීන් සඳහා යොමු කළ එකම ප්‍රශ්නය වූයේ ‘ශ්‍රී ලංකාවේ සිටින දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්ද?’ යන්නය,. තවමත් ඒ සඳහා දිය හැකි පිළිතුරක් වමට හෝ දෙමළ ජාතිවාදයට නැත්තේය. ඒ ත්‍රස්තවාදය සඳහා එකම විසඳුම එය යුද්ධයෙන් පමණක් මර්දනය බව නලින්ගේ සාධනය විය.

එල්ටීටීඊය පරාජය කිරීම සඳහා න්‍යාය වූයේ නලින්ගේ තර්කනයය. හේ ඒ සඳහා කදිම විවරණයක් ‘ප්‍රභාකරන්ගේ සීයලා, බාප්පලා සහ මස්සිනාලා’ යන ග්‍රන්ථයේදී ඔහු ඉදිරිපත් කළේය. බෙදුම්වාදයේ අවසානය සඳහා දාර්ශනික සහ දේශපාලනික බිම එසේ ශක්තිමත් නොකළේ නම් මේ රට කලාප ආණ්ඩු සහිත රාජ්‍යයක් බවට නියත ලෙසම මේ වන විට පත්වී අවසන්ය.

පෙරේදා අවසන් හුස්ම හළ ඒ වියත් තෙමේ සිය ආශ්වාස ප්‍රශ්වාසය සක්‍රියව පැවති සමයේ මේ ජාතියට හුස්ම දුන්නේ එසේය. ඔහුව කොළඹ සරසවියෙන් නෙරපා දමන ලද්දේය. එය නලින් අභියෝගයක් වූ කල්ලියක ප්‍රයාමයක් විය. එකල කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති තනතුර දරන ලද්දේ මහාචාර්ය ජී.එල්. පීරිස්ය. නලින් ද සිල්වා සිය කාර්යාලයට ගෙන්වා මහාචාර්ය පීරිස් විමසන ලද්දේ “ඔබ විශ්වවිද්‍යාලයේ ජාතික චින්තනය උගන්වන්නේ ඇයි?” කියාය. නලින්ගේ පිළිතුර සරලය. “අනෙක් අයට විජාතික චින්තනය ඉගැන්වීමට හොඳ නම්, මා ජාතික චින්තනය ඉගැන්වීමේ වරද කවරේද?” විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ලෙස එතෙක් මෙතෙක් වැඩිම වැටුප් වර්ධකය විශ්වවිද්‍යාල ආචාර්යවරු වෙත හිමිකරදුන් ආචාර්ය නලින් ද සිල්වා විශ්වවිද්‍යාලයෙන් නෙරපීම සඳහා එම වැටුප සාක්කුවේ දමා ගත් ආචාර්යවරුම අනෙක් සාක්කුවෙන් පෑන ගෙන ඔහු සරසවියෙන් නෙරපා හැරීමට පක්ෂව පෙත්සම් අත්සන් තැබුහ. එසේ නොකළ, නලින් වෙනුවෙන් සටන් කළ ආචාර්යවරු ද වූහ. වසර විස්සකට වැඩි කාලයක් ඒ වෙනුවෙන් නලින් නඩු කිවේය. එස්. එල්. ගුණසේකර, කනිෂ්ක විතාරණ, තිස්ස යාපා යන නීතිඥ මහත්වරු ඒ වෙනුවෙන් සිය කාලය ධනය නොමිලේ කැප කළහ.

නලින් ද සිල්වා වැනි වියතෙක් වසර ගණනාවක් විශ්වවිද්‍යාලයෙන් බැහැර තිබූ කාලය ‘නේක තරු කුමට පුන් සඳ නැති සරසවිය’ යැයි ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු කළේය.

හෙතෙම සරල දිවි පෙවතක් ගෙවන ලද, විටක රළු භාවිතයක් ඇති චරිතයකි. ඔහු සිය මතයට අප්‍රමාණ අවංකයෙක් විය. ඒ වෙනුවෙන් අනේක කැපකිරීම් සිදු කරමින් පෙනී සිටියේය. මේ නිසා ජාතිය සවිමත් වෙද්දී, ඔහුගේ ප්‍රිය භාර්යාව සහ දු දරුවෝ අනේක විද අපහසුකම් පීඩා වින්දාහ. නලින් නම් මහා දායාදයේ සේවය මේ රටට ජාතියට ලබාදීම සඳහා එම පවුල කළ කැපකිරීම වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය ඔවුනට හිමි විය යුතුය.

ආචාර්ය ගුණදාස අමරසේකරයන් පිළිබඳව නලින් ද සිල්වා ලියූ විවරණයකදී ඔහු අමරසේකරයන් හඳුන්වනු ලැබුවේ ‘මහාවංශයේ ධර්මපාල පරිච්ඡේදය ලියැවෙන ප්‍රාඥයා ලෙසය. නියතම ලෙස ඨකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ නලින් කුමාර් ද සිල්වා නාමය මහාවංශයේ ධර්මපාල පරිච්ඡේදයේ ලියැවෙනවා ඇත
Share: