ඇදුරුඳු නලින් - යුතුකම ජාතික සංවිධානය


නලින් ද සිල්වා මැතිතුමා යෞවන වියේ දී නව දැනුම සොයා සෛද්ධාන්තික භොතික විද්‍යාවේ කිමිදුණේ ය; අසරණයන්ට සරණවීමට මාක්ස්වාදයේ සරණ පැතීය. තමා තෝරාගත් ක්ෂේත්‍ර පරතෙරට ම හැදෑරීය.
1980 වැඩවර්ජනයේ අසාර්ථකත්වය එ තුමා සසල කළේ ය. න්‍යායේ හා ප්‍රායෝගිකත්වයේ විසංවාද එ තුමා කළඹවාලීය. එ තුමා අවංක බුද්ධිමතකු විය.
එ තුමා මාක්ස්වාදය ප්‍රශ්න කළේ ය. මාක්ස්වාදය විද්‍යාත්මක නම්, ඊට අනුකූලව ගන්නා දේශපාලන ක්‍රියාමාර්ග අසාර්ථක වන්නේ කෙසේ ද? එ තුමා මාක්ස්වාදය විද්‍යාත්මක දැ යි ප්‍රශ්න කළේ ය. ඒ, එ සේ නොවන බව පෙන්වාලීය.
ඉන් පසු එ තුමා විද්‍යාව විද්‍යාත්මක දැ යි ප්‍රශ්න කළේ ය. වෙනත් වචනවලින් කිවහොත් විද්‍යාත්මක විධික්‍රමය ම ප්‍රශ්න කළේ ය. අප විද්‍යාත්මක යැ යි පිළිගන්නා බොහෝ ප්‍රවාද, ඒ සේ පිළිගැනී ඇත්තේ විද්‍යාත්මක නොවන වෙනත් කරුණු මත බව, සරල වීම, සෞන්දර්යය වැනි කරුණු මත බව පෙන්වා දුන්නේ ය.
මේ මඟින් එ තුමා, අප වෙනුවෙන් අපේ ම මාවතක් ඉදි කරගැනීමට එරෙහිව තිබූ ප්‍රධාන ම බාධකය බිඳ හෙලුවේ ය. බටහිර යුරෝපයේ ඉතිහාසය මත ගොඩනැඟුණ, ලොවට ම පොදු වූ ඓතිහාසික විකාශනයක් පිළිබඳ මතවාද අභියෝගයට ලක් කෙරුණේ ය. අප ගේ ම වූ දැනුම් පද්ධතියක්, අප ගේ ම වූ මාවතක්, අප ගේ වූ අනාගතයක් පිළිබඳ නව අලෝක ධාරා පැතිරෙන්නට විය.
ගුණදාස අමරසේකරයන් ගේ ජාතික චින්තනය පිළිබඳ අදහසට සෛද්ධාන්තිකව ඉඩකඩ වීවර වූයේ මේ දාර්ශනික ප්‍රවේශය ඔස්සේ ය. අපේ ඉතිහාසය මත අපේ අනාගතය ගොඩනඟා ගත හැකි බවට, කුරුරි ත්‍රස්තවාදය පරාජය කළ හැකි බවට පමණක් නොව පරාජය කළ යුතු බවට මතවාද ගොඩ නැඟුනේ ද මේ අනුව ය.
ත්‍රස්තවාදය පරාජය කරනු දැකීමට එ තුමා වාසනාවන්ත විය. එහෙත් එ තුමා අපෙන් සමුගන්නේ මවුබිමේ චිර පැවැත්ම ම අභියෝගයට ලක් ව ඇති මොහොතක ය. ඒ අභියෝගය ජයගැනීම, ත්‍රස්තවාදය පරාජය කළ රටේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය තහවුරු කිරීම, අද අප හමුවේ වන ප්‍රමුඛතම අභියෝගය ය. මේ තීරණාත්මක පැයේ දී නලින් ද සිල්වා ඇදුරුතුමාට ගරු කළ හැක්කේ ඒ සඳහා කැපවීමෙනි!

යුතුකම ජාතික සංවිධානය
2024-05-03
Share: