මහාචාර්ය නලින් ද සිල්වා සහ සිංහබාහු ප්‍රවාදය - අරුණ ලොකුලියන



-අරුණ ලොකුලියන

සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹලා එන අතරේ ඒ ගැන යමක් ලියන්න හිතනකොට මගේ මතකයට ආවේ මහාචාර්ය නලින් ද සිල්වා දවසක් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පොදු කාමරයේදී සිංහබාහු ප්‍රවාදය පිළිබඳ වූ සාකච්ඡාවකදී පළකල ප්‍රවාදය. සිංහල ජාතිය සිංහයෙකුගෙන් පැවත ඒම පිළිබඳ ජනප්‍රවාදය අරභයා මා ඇසූ වඩාත්ම සිත් ගත් ප්‍රවාදය එයයි.

ලිපිය ලිවීම ප්‍රමාද වීම නිසා මේ ලියන දේ දැන් එකවර සිංහබාහු චිත්‍රපටය පිළිබඳ ව මෙන්ම මහාචාර්ය නලින් ද සිල්වා පිළිබඳවත් සටහනක් බවට පත්වෙනවා.
ඒ මහාචාර්ය නලින් ද සිල්වා කැලණිය විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණ මුල් කාලය.මහාචාර්ය නලීන් කැලණිය ආචාර්ය මණ්ඩලයට එක්වීම පිළිබඳ තරුණ ආචාර්යවරු විදිහට අපි හිටියේ කිසියම් ආශ්වාදයකින්. ඒ කොළඹ සරසවියෙන් එතුමන්ට වූ අසාධාරණය ට කැලණියෙන් සාධාරණයක් ඉටු වීම නිසා.ඒත් එක්කම චින්තන පර්ශදය ඔස්සේ කොළඹ සරසවියේ ඇති වූවාක් වැනි බුද්ධි ප්‍රබෝධයක් කැලණියේ දීත් මහාචාර්ය නලීන් ඇතිකරනු ඇතැයි යන බලාපොරොත්තුව. ඒ සිතූ ආකාරයෙන්ම ඔහු ඒ සඳහා පදනම දැමුවා. සිංහල ජාතිය සිංහයෙකුගෙන් පැවත ඒම වියහැක්කක්ද යන්න පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොදු කාමරයේ සංවිධානය වූ සංවාද මණ්ඩපය එහි ප්‍රතිපලයක්.එහිදී මහාචාර්ය නලීන් ඉදිරිපත් කල මතවාදය තමයි ඒ පිළිබඳ අදටත් මමත් විශ්වාස කරන්නේ.
ඒ මතයේ ඇති සමාජ මනෝවිද්‍යාත්මක ශක්තිමත් භාවය නිසා. එය එකවර, සිංහල ජාතිය සිංහයෙකුගෙන් පැවත ඒම පිළිබඳ ප්‍රවාදය පිළිගන්නා අතරම එ‍ය ශාස්ත්‍රීය ශික්ෂණයකින් ඛණ්ඩනය කිරීමද කරන නිසා. අද සෝමරත්න දිසානායක , සිංහයා යනු මනුශ්‍යයෙක් යැයි කීමට ගෙන එන සිනමා විවරණය මහාචාර්ය නලින් ද සිල්වා සිංහයා සැබෑ සිංහයෙකු ලෙස පවත්වා ගනිමින් ම ගෙන හැර පෑවා.

ඔහු කීවේ ලෝකයේ බොහෝ ජාතීන්ගේ හා ගෝත්‍රයන්ගේ උපත පිළිබඳ ජනප්‍රවාද තුළ එම ජාතීන් හෝ ගෝත්‍ර බිහිවීමට පාදක වන මූලාශ්‍රය සැබෑ ගැහැණියකගෙන් සහ පිරිමියෙකුගෙන් ගලවා කිසියම් සතෙකුට එහෙම නැත්නම් කිසියම් ගසකට ගලකට හෝ කන්දකට එහෙමත් නැත්නම් ඉරට , හඳට තාරුකාවකට හෝ දෙවියෙකුට සම්බන්ද කර ඇත්තේ ඉතාම සැලසුම්ගතව එකී අභිනව ජාතියට හෝ ගෝත්‍රයට වෙනත් ජාතීන්ගෙන් හෝ ගෝත්‍රයන්ගේ ඇති ඥාතීත්වය ඉවත් කොට ඒ සඳහා ඊටම අදාල නිර්මල උපතක් ලබා දීමට බවයි. කිසියම් ජාතියකට හෝ ගෝත්‍රයකට වෙනත් ජාතී හෝ ගෝත්‍ර‍යන්ගේ මූලයන් ඇති මව් හෝ පිය පාර්ශව සම්බන්ධ කම් ඇති කල විට අභිනව ජාතිය සුජාත නොවී ඊට මව් පිය පාර්ශවයන්ගේ අක් මුල් නිසා ඇතිවිය හැකි බාධා වැලැක්වීමට නව ජාතියක උපතට එසේ අජීවී හෝ මනුශ්‍ය නොවන පීතෲත්වය හෝ මාතෲත්වයක් සම්බන්ධ උත්පත්ති කතා සම්බන්ධ කර ඇති බවයි මහාචාර්ය නලින් ගෙන ආ ප්‍රවාදය.

ඔහු ඊට නිදර්ශන ගෙන හැර පෑවා. බ්‍රාහ්මණ , ක්ෂත්‍රී, වෛශ්‍රණ හා ශුද්‍ර කුළ බිහි වන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන්, බාහුවෙන්, කලවයෙන් හා යටි පතුලෙන්. බොහෝ අප්‍රිකානු ගෝත්‍ර වලට ගස් ගල් වල නැත්නම් සත්ව මූලයක් තිබෙනවා. එවිට ඒවායේ බිහිවීම කාටවත් ප්‍රශ්න කරන්නට බෑ. මුලක් නෑ. එය තමයි අභිනව ජාතියක මූලය යනුවෙන් ඉදිරිපත් කල මහාචාර්යවරයාගේ අදහස ට මම එකඟයි. එය සමාජ මානව විද්‍යා ප්‍රවේශයක් ලෙස තර්කානුකූලයි.මට මතක විදිහට ඒ මොහොතේ කිසිවෙක් ඊට වඩා පිළිගත හැකි මතයක් ගෙන ආවෙත් නෑ. කොහොමත් මහාචාර්ය නලීන්ට විරුද්ධ වෙන්න ගොඩක් අය කැමතිත් නෑ. ඒ එතුමන්ගේ ප්‍රතිචාර ඒ තරම් සොඳුරු නැති බව දන්න නිසා. ඒ ගොරහැඩි ප්‍රතිචාර නොවුනා නම් ඔහු වටා මීට වඩා විශාල පිරිසක් ගොනු වෙන්නට තිබුණා. ඔහුගේ බලපෑම මීට වඩා ප්‍රබල වෙන්නටත් තිබුණා.

එහෙත් මහාචාර්ය නලීන්ගේ සිංහයා සැබෑ සිංහයෙකුය යන ප්‍රවාදය නිසා සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු නිශේධනය වන්නේත් නෑ. එය තව පෝස්ටුවකට තබා මේ සටහන නවත්වනවා.

මහාචාර්ය නලින් ද සිල්වා ශූරීන්ට නිවන් සුව අත්වේවා.

Share: