විශිෂ්ටත්වයේ ගුරුතුමකු වූ මහාචාර්ය නලින් ද සිල්වා - සුගත් පී. කුලතුංග ආරච්චි


- සුගත් පී. කුලතුංග ආරච්චි

මෙරට ආන්දෝලනාත්මක සහ කීර්තිමත් විද්‍යාර්ථියකු වූ ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර ද සිල්වා හෙවත් මහාචාර්ය නලින් ද සිල්වා, වයස අවුරුදු 79 දී ඇමෙරිකාවෙදි අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු ද ඇමෙරිකාවේ සිදුවන බව දැනගන්නට ලැබී තිබේ.

මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික ප්‍රමුඛ පෙළ දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙකි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ හිටපු මහාචාර්යවරයා මෙන්ම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයෙක් සහ ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ද විය. ඔහු මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළේය.

බොහෝ විට අසමාන නවීන සහ රැඩිකල් අදහස් දැරූ සහ ඒවා නොබියව ප්‍රකාශ කළ සමාජ ප්‍රගමනයට මගපෙන්වූ පුරෝගාමියකු ලෙස එතුමා ජනකාන්තය.

මහාචාර්ය නලින් ද සිල්වා ඔහුගේම වූ ආකාරයකට විද්‍යාර්ථීන් අතර මෙන්ම සමස්ත සමාජයේද විශිෂ්ට සලකුණක් තැබූවෙකි. ඔහු විද්‍යාවේ අසීරුම අංශ වන කොන්ටම් භෞතිකය, විශ්ව අධ්‍යයනය ගැන අවධානය යොමු කළ අතරම විද්‍යාත්මක මතවාද සඳහා තදින්ම පෙනී සිටියේය. ඒ අංශයේ විස්මිත දැනුම් සම්භාරයක්ද තිළිණ කළේය. දෙවනුව ඔහු මේ විද්‍යාත්මක මතවාදය තදින්ම විවේචනයට ලක් කළේය. ජාතිකත්වය පිළිබඳ කතාබහට නව පණක් දුන්නේය. ඔහුගේ මේ විපර්යාසය සමාජය තුළ දැඩි වෙනසක් මතු කළේය. 80 අග 90 මුල භාගයේ ඔහු ඇරුඹූ ‘චින්තන පර්ෂදය’ සහ ‘කාලය’ සඟරාව, තරුණ පෙළ මෙන්ම වැඩිමහලු සමාජයද ආකර්ෂණය කර ගත්තේය. ඔවුන් තුළ මතවාදී චින්තන වෙනසක් මතු ක‌ළේය. උගත් පරම්පරාවක දැක්ම නව පෙරුළියකට ලක් කළේය.

රටේ අධ්‍යාපනයේ සහ මතවාද උත්පාදනයේ මහා තිඹිරිගෙය බවට පත්ව තිබූ බටහිර පන්නය ගත් කොළඹ විශ්වවිද්‍යාලය තුළටද දේශීයත්වය, දේශීය චින්තනය මෙන්ම ඇඳුම් පැළඳුම්ද ජනප්‍රිය විලාසිතාවක් සේ කාන්දු වූයේ එතුමාගේ සැර තද වදන් සහ ක්‍රියාකාරීත්වය මගිනි. ඒ හේතුවෙන්ම ඔහුට රුකියාවද අහිමි විය. පසු කාලීනව කැලණිය සරසවියේදී ඔහු භාණ්ඩාගාරික සහ උපදේශකයා ලෙස කටයුතු කළ වීමංසක පර්ෂදය නම් ශිෂ්‍ය සංවිධානය කැලණිය විශ්වවිද්‍යාලයේ බටහිර ඇඳුම් තහනම් කිරීමේ ව්‍යාපාරයක් පවා ආරම්භ කළේය. බටහිර විද්‍යාව, චින්තන රටාව මුළුමනින්ම ප්‍රශ්න කළ ඔහු සිය නව චින්තන රටාව ‘මගේ ලෝකය’ ඇතුළු පොත් පත් දේශන ගණනාවක් ඔස්සේ බෙදා හැරියේය. ඔස්ට්‍රේලියානු නූතන චින්තකයකු වූ පෝල් කාල් ෆෙයරාබෙන්ඩ්ගේ අදහස් ගරු කළ මහාචාර්ය නලින් ද සිල්වා විද්‍යාත්මක ක්‍රමයේ පැවැත්ම ප්‍රතික්ෂේප කළ අතර විවිධ චින්තන මත විද්‍යාව ව්‍යාප්ත කිරීම යෝජනා කළේය. ඔහුගේ අදහස් නිතර රට කළඹන සුළු ප්‍රබල ආන්දෝලනාත්මක තාර්කික විවරණ වූ අතර එයින් ඇතිකළ කම්පනය සමාජය තුළ සැබෑ වෙනසකට මග පෑදීමක්ද විය. පසු කාලීනව මහාචාර්යතුමා බුදු දහම සහ චින්තනය දැඩි ලෙස වැළඳූ ගත් අතර බුදු දහමේ විද්‍යාත්මක පදනම ගැන කතාබහක් මතු කළේය.

මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඊනියා වාස්තවික විද්‍යාත්මක ක්‍රමය බොරුවක් බවයි. විද්‍යාව පරතෙර දත් ඔහු වැනි අයකු මෙසේ ප්‍රසිද්ධියේ විද්‍යාවට ගැරහීම ඒ කාලයේ බොහෝ වනපොත් උගතුන්ගේ දැඩි විවේචනයට ලක්වී තිබුණි. මෙලෙසම ඔහු රටම කැළඹීමට පත් කළේ 2011 ජූනි මාසයේදී කළ ප්‍රකාශයකිනි. ඒ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව ජලයේ ආසනික් තිබීම යැයි නාථ දෙවියන් විසින් තමාට තොරතුරු ලබා දුන් බවට වූ ආන්දෝලනාත්මක ප්‍රකාශයයි.

මේ ප්‍රකාශය බොහෝ දෙනා හෙළා දුටු අතර ඔහු ජීවිතාන්තය දක්වා සාමාජිකත්වය ලබා සිටි සංවිධානයක් වන ශ්‍රී ලංකා විද්‍යා ප්‍රගමනය සඳහා වූ සංගමය පවා කීවේ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා විද්‍යාව පහත හෙළා එය අපකීර්තියට ගෙන ඒම අතිශය අවාසනාවන්ත තත්ත්වයක් ලෙස සලකන බවයි. කෙසේ වෙතත්, ජලයේ සහ වෘක්ෂලතාදිය තුළ ආසනික් පවතින බව දැන් තහවුරු කර ඇති අතර, ඒ මූලාශ්‍රය කෘෂි රසායන පොහොර බව පසුව සොයා ගන්නා ලදී.

නලින් ද සිල්වා මහතා විධිමත් ලෙස මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සමසමාජ පක්ෂයේ සහ නව සමසමාජ පක්ෂයේ සාමාජිකයකු වූ අතර, මාක්ස්වාදියකු ලෙස විෂයන් දෙකම හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ විද්‍යාවේ පදනම දැඩි ලෙස ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 1986 දී ඔහු ‘මගේ ලෝකය’ නම් ග්‍රන්ථය ලිවීය. ස්ථාපිත බටහිර දැනුම් ක්‍රමයේ පදනම සහ එහි ප්‍රචාරණය විවේචනය කරමින් ඔහු මනස ස්වාධීන නොවන බව සහ දැනුම යනු ගොඩනගන ලද දෙයක් බව මෙම පොතෙන් පැහැදිලි කළේය.

මෙය තවදුරටත් ඥාන විද්‍යාව සහ ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යයනයක් දක්වා වර්ධනය වී ඇත. එම ක්‍රියාවලියේදී, “නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය” සංකල්පය හඳුන්වා දී සංවර්ධනය කර ඇත. ඔහු ඉන්ද්‍රියන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්‍ෂව ගොඩනගා ගන්නා පදනමක් ලෙස ‘දැනුම’ හඳුන්වා දුන් අතර මනස අවිද්‍යාවේ නිර්මාණයක් බවටත් තර්ක කළේය.

පසු කලෙක එරික් ෆ්‍රොම්ගේ ජාතික චින්තන සංකල්පය පදනම් කරගෙන ගුණදාස අමරසේකරයන් විසින් යෝජනා කරන ලද "ජාතික චින්තනයේ" නියෝජිතයකු ලෙස ඔහු හඳුනා ගත්තද නලින් ද සිල්වාගේ චින්තන සංකල්පය වෙනස් ඥාන විද්‍යාත්මක සංකල්පයකි.

න්‍යායාත්මක හා පර් යේෂණාත්මක විද්‍යාඥයකු ලෙස මහාචාර්ය නලින් ද සිල්වා අංශුවල තරංග ස්වභාවය ප්‍රතික්ෂේප කළේය. ඒ සමඟම ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ සාමාජිකයකුද වූ මහාචාර්ය නලින් ද සිල්වා විශ්වයට ත්වරණය සහ අඩුවීම යන දෙකම සහිත ආදර්ශ මොඩලයක් පවා හඳුන්වා දුන්නේය.

නලින් ද සිල්වා මහාචාර්යතුමා 1944 ඔක්තෝබර් 20 වැනි දින ශ්‍රී ලංකාවේ පානදුරේ කෝවිලගොඩැල්ලේදී උපත ලැබූවෙකි. ඔහුගේ පියා විදුහල්පතිවරයකු වූ ඩැනියෙල් ද සිල්වා වූ අතර මව පාසල් ගුරුවරියක වූ ජයලීන් පෙරේරා ය. ද සිල්වා සහෝදර සහෝදරියන් අට දෙනකුගෙන් වැඩිමලා විය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බෞද්ධාලෝක මහා විද්‍යාලයෙන්, කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් සහ ද්විතීයික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඔහු රාජකීය විද්‍යාලයේ සිංහල විවාද කණ්ඩායමේ නායකයා වූ අතර කථිකත්වය සඳහා වීරසූරිය පදක්කම දිනා ගත්තේය. ඔහු 1963 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පිළිබඳ උපාධිය ලබා ගත්තේය. ද සිල්වා 1969 ජනවාරි මාසයේදී සසෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී 1970 දී න්‍යායාත්මක භෞතික විද්‍යාව - විශ්ව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත් ඔහු විවාහ වී සිටින අතර ඔහුට පුතුන් දෙදෙනකු සහ එක් දියණියක් සිටී. විශිෂ්ටත්වයේ ගුරුතුමනි, ඔබට නිවන් සුව!

Share: