නලින් සර් - ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති


- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මේක “මගේ” ලෝකයට අදාළ කතාවක්. ඉතින් ඒ හින්දා මට මුලින් ම මම ගැන කියන්න වෙනවා.

අපේ තාත්තා ශ්‍රී ලංකාකාරයෙක්. තාත්තා ජාතිකවාදී අදහසුත් වාමාංශික අදහසුත් එක විදිහට පිළිගත්තා. තාත්තාගේ පොත් කබඩ් එකේ හැම ජාතියක ම පොත් තිබුණා. මහාවංශය වගේ පොත්; න්‍යාය හෝඩිය, න්‍යාය බින්දුව වගේ පොත්, මාක්ස් - ලෙනින් පොත් ඒ අතර තිබුණා. මම පොඩි කාලේ ඉඳලා ම ටිකෙන් ටික ඔය පොත් පුළුවන් විදිහට කියවලා තියෙනවා. මහාවංශය කියවද්දි මගේ වයස අවුරුදු 10 ක් විතර ඇති. අපේ ගෙදර තිබුණු සුමඞගල - බටුවන්තුඩාව සංස්කරණයේ “ව” අකුරට සඤ්ඤකයක් වගේ එකක් දාලා තිබුණා. “මේ අකුර මොකක් ද?” කියලා මම තාත්තාගෙන් ඇහුවා. ඒ තමයි “ද්විතීයික” වගේ තැන්වල “ද්” සහ “ව” අකුරු දෙක එකට බැඳලා දක්වන විදිහ කියලා තාත්තා මට කියලා දුන්නා.

සාමාන්‍ය පෙළ ඉවරවෙලා උසස් පෙළ පටන්ගන්න මාස නවයක් විතර ගතවුණා. ඒ කාලයේ දී තාත්තාගේ පොත් කබඩ් එකේ තිබුණු හැම පොතක් ම අඩු වැඩි වශයෙන් කියවලා බලන්න මට පුළුවන් වුණා. ඉතින් මම ඔය න්‍යාය හෝඩිය, න්‍යාය බින්දුව වගේ පොතුත් මාක්ස් - ලෙනින් පොත් කට්ටලයත් එහෙන් මෙහෙන් කියෙව්වේ ඒ කාලේ. ඒ පොත්වල තිබුණු බරපතල කරුණු කාරණා මුළුමනින් ම තේරුණේ නැතත් ඒවා විසින් මගේ ඔළුව යම් විදිහකට හැඩ ගැස්සුවා කියලා මට හිතෙනවා.

ඔය කාලේ අපේ ගෙදරට “දිවයින” පත්තරෙත් ගන්නවා. හැම දා ම පත්තර ගත්තේ නෑ. ඉරිදා සහ බදාදා දිවයින පත්තර තමයි ගත්තේ. 1986 අවුරුද්දේ හේලිගේ වල්ගා තරුව පෑව්වා. ඒක අවුරුදු 76 කට වතාවක් පායන එකක්නේ. ඒ දවස්වල දිවයින බදාදා අතිරේකයට නලින් ද සිල්වා කියලා මහත්තයෙක් “හේලිගේ යථාර්ථය” කියලා ලිපියක් ලියලා තිබුණා. පස්සේ පස්සේ ක්වොන්ටම් කතන්දර, කාටිශීය තාප්පය බිඳීම, මිහිඳු හිමියන්ගේ ප්‍රශ්න වගේ ලිපිත් ඒ මහත්තයා ලිව්වා.

අගමැති අයියා (මුදියන්සේ තෙන්නකෝන්), සූරිය ගුණසේකර වගේ දක්වපු අදහසුත් දිවයින බදාදා අතිරේකයේ පළවුණා. ඔය අල්ල පනල්ලේ “අපිට ජාතික චින්තනයක් තියෙනවා ද?” කියලා සංවාදයකුත් ඒ අතිරේකයේ ම දිග ඇරෙන්න පටන්ගත්තා. දේශපාලන අර්ථයකින් ගුණදාස අමරසේකර මහත්තයා මගේ ලෝකයට ඇතුළුවුණේ ඒ සංවාදය දිග ඇරෙද්දි. ඔය සංවාදයට නලින් ද සිල්වා මහත්තයත් පැටැළුණා.

මේ අතර “මගේ ලෝකය” කියලා පොතක් පළ කරලා තියෙන බවකුත් දැනගත්තා. ඒ පොත ගන්න ඕන කියලා මම තාත්තාට කිව්වා. ඉතින් 1986 අග හරියේ දවසක නුවර ගිහිල්ලා එද්දි තාත්තා ඒ පොත ඇරැගෙන ආවා.

“විදුසර” පත්තරේ පළ කරන්න පටන්ගත්තෙත් ඒ කාලේ ම තමයි. නලින් ද සිල්වා මහත්තයා ලියපු ලිපි ඒ පත්තරෙත් පළවුණා. 1987 අවුරුද්දේ අග හරිය විතර වෙද්දි “කාලය” සඟරාවත් පළවෙන්න පටන්ගත්තා. අපේ ගෙදරට ඒ සඟරාවත් ගෙනාවා. කාලය සඟරාවේ නලින් ද සිල්වා මහත්තයාගේ ලිපිනය තිබුණා. මම ඒ ලිපිනයට ලියුමක් ලිව්වා. නලින් ද සිල්වා මහත්තයා මට උත්තරයක් එව්වා. මේ ලියුම් ගනුදෙනුව මැද්දේ මම “විදුසර” පත්තරයටත් “කාලය” සඟරාවටත් ලිපි ලිව්වා. ඒවා පළවුණා.

ආණ්ඩුවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය ඉහවහා ගිහිල්ලා තිබුණු හින්දා තාත්තා අපිව ගෙදර තියාගත්තේ නෑ. අයියා නැවතුණේ කොළඹ. මාව නැවැත්තුවේ නුවර. මම නුවර නැවතිලා උසස් පෙළ ටියුෂන් පන්තිවලට ගියා. තාත්තා විෂයයන් හතරට ම සල්ලි දුන්නත් මම ගියේ අයිලප්පෙරුම සර්ගේ ව්‍යවහාර ගණිතය සහ ශුද්ධ ගණිතය පන්තිවලට විතරයි. අනිත් සල්ලි ඉතිරි කරගෙන ඒවායින් පොත් පත්තර ගත්තා.

1989 මහ භීෂණේ මැද්දේ නුවර මගේ ලිපිනයට ලියුමක් ලැබුණා. “කාලය” සඟරාවේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කරන රැස්වීමක් කෝට්ටේ නාග විහාරයේ තියෙන බවකුත් ඒ රැස්වීමට සහභාගීවෙන්න කියලා මට ආරාධනා කරන බවකුත් ඒ ලියුමෙන් දන්වලා තිබුණා. ඉතින් මට මතක විදිහට 1989 මැයි මාසයේ දවසක ගෙදරටත් කියන්නේ නැතුව මම නුවර ඉඳලා කොළඹ ගිහිල්ලා ඒ රැස්වීමට සහභාගී වුණා. ඒ තමයි මම නලින් ද සිල්වා මහත්තයා, ගුණදාස අමරසේකර මහත්තයා වගේ අය මුණ ගැහිච්ච මුල් ම වතාව.

ඒ අවුරුද්දේ අන්තිමේ මම කොළඹ පදිංචියට ආවා. ඊට පස්සේ නිතර නිතර නලින් ද සිල්වා මහත්තයා, සූරිය ගුණසේකර මහත්තයා වගේ අය මුණ ගැහුණා. ස්වර්ණ හංස පදනම පළ කරපු සඟරාවක් සංස්කරණය කරන වැඩක් සූරිය ගුණසේකර මහත්තයා මට පංගාර්තු කළා. ඒ වෙනුවෙන් මට මාසයකට රුපියල් 600 ක පඩියක් ලැබුණා. ඔහොම අවුරුද්දක් විතර ඉස්සරහට යද්දි “ලක්මිණ” කියලා සතිපතා පත්තරයක් පළ කරන්න පටන්ගත්තා. ඒ පත්තරේ සෝදුපත් බලන රස්සාව මට ලැබුණා. ඒ වෙනුවෙන් මට මාසයකට රුපියල් 1250 ක පඩියක් ලැබුණා. මම රස්සා දෙක ම කළා. ලක්මිණ පත්තරේ පිටු හදපු ජනරංජනයි, සෝදුපත් බලපු මමයි වැඩ කළේ නුගේගොඩ නාවල පාරේ තිබුණු සමනල මුද්‍රණාලයේ.

මම තේරුණේ කොළඹ විශ්වවිද්‍යාලයට. ජවිපෙ කලබල හින්දා කැම්පස් වහලා ඇතිවෙච්ච පමාව බලපාලා අපි ඇතුළට යන්න අවුරුදු දෙක හමාරයක් විතර බලාගෙන හිටියා. 1992 අප්‍රේල් මාසයේ තමයි අපි ඇතුළට ගියේ. හැබැයි ඊට කලින් මම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ආවා ගියා. එක්සත් විද්‍යා ශිෂ්‍යයෝ කරන වැඩවලට සම්බන්ධ වුණා. විරු සිසු සමරු උත්සව සංවිධානය කරන්නත් දායකවුණා. පූජ්‍ය බෙංගමුවේ නාලක හාමුදුරුවෝ එක්ක හමුදා කඳවුරුවලට යන්නත් පටන්ගත්තා. 1991, 1992, සහ 1993 අවුරුදුවල මම සිංහල අවුරුද්දට ගෙදර යන්නේ නැතුව හමුදා කඳවුරුවල අවුරුදු සමරන්න ගියා.

කැම්පස් ගිය අවුරුද්දේ ම මම ශිෂ්‍ය සභාවටත් පීඨ සභාවේ ශිෂ්‍ය නියෝජිතයෙක් විදිහටත් තේරී පත්වුණා. ඉතින් ඒ විදිහට පටලවා ගත්ත වැඩ සහ රටේ කරපු වැඩ මැද්දේ දේශනවලට යන්න වැඩි ඉඩක් මට ලැබුණේ නෑ. මේ වෙද්දි අපි නලින් ද සිල්වා මහත්තයාට “නලින් සර්” කියන්න පටන් ඇරැගෙනයි තිබුණේ. ඉන්න තැනත් නැති තැනත් අපි “සර්” කිව්වේ නලින් සර්ටත් අබේසිංහ සර්ටත් විතරයි. ඈපාසිංහ, රාමසිංහ දෙන්නා ගැන ගෞරවයක් අපිට තිබුණේ නෑ. ඉතින් අපි ඒ අය හැඳින්නුවේ “ඈපා”, “ජරාමසිංහ” කියන නම්වලින්. උපකුලපති ජී. එල්. පීරිස්ට අපි කිව්වේ “ජිලා” කියලා.

නලින් සර් අපිට ඉගැන්නුවේ දෛශික. ඒත් මම එතුමාගේ දේශන දෙකකට විතරයි සහභාගී වෙලා තියෙන්නේ. “ගවේෂකයෝ” කියන නමින් හදාගෙන තිබුණු සංවිධානයේ වැඩටත් මම සම්බන්ධ වුණේ හුඟක් අඩුවෙන්. ගවේෂකයෝ පවත්වපු දේශන දෙක තුනක් අහන්න මම ගිහිල්ලා තියෙනවා. මේ ඔක්කොට ම හේතුවුණේ මගේ වැඩ අධික බව. අපේ ශිෂ්‍ය සභාව කළේ ශිෂ්‍යයන්ට අදාළ දේශපාලනයක් විතරයි. අනිත් බාහිර වැඩ හැම එකක් ම වගේ අපි කළේ විශ්වවිද්‍යාලයෙන් පිට.

විභාග පටිපාටිය සම්බන්ධ ප්‍රශ්නයක් මුල් කරගෙන 1993 මැද පවත්වපු මාරාන්තික උපවාසයට මමත් වාඩිවුණා. ඒ වෙලාවේ මම පැය 53 ක් නොකා නොබී හිටියා. ඒක හොඳ අත්දැකීමක්. ඒ සටන ජයග්‍රහණය කළත් ඒ වෙලාවේ ඇතිවෙච්ච සිදුවීම් හේතු විදිහට දක්වලා නලින් සර්ට රස්සාව නැති කළා. ඒකට විරුද්ධව අපි සටනක් පටන්ගත්තත් ඒක සාර්ථක වුණේ නෑ.

ඔය කාලේ අපේ විද්‍යා පිඨයේ ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම් ඇතිවෙන්නත් පටන්ගත්තා. ගම්වලින් ආපු එවුන්ට කොළඹ එවුන් ගහන, කොළඹ එවුන්ට ගම්වලින් ආපු එවුන් ගහන විදිහට තමයි ඒ රණ්ඩු ඇතිවුණේ. ඒ ගහගැනිලිවලට සම්බන්ධවෙන්න තරම් කායික හයියක් තිබුණේ නැතත් ඒවා අවසන් කළේ මගේ ශිෂ්‍යභාවය නැති කරලා අත්හිටවූ දඬුවමක් ලබාදීලා. චන්ද්‍රිකා නෝනාගේ ආණ්ඩුවට සම්බන්ධවෙන්න කලින් “ජිලා” දීපු අන්තිම දඬුවම ඒක වෙන්න ඕන. ඉතින් විශ්වවිද්‍යාලය ඇතුළේ අලකලංචිවලට තවදුරටත් පැටැලෙන්න පුළුවන්කමක් මට තිබුණේ නෑ.

1995 දෙසැම්බර් මාසයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා අවුරුද්දක් විතර යද්දි මම සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ රස්සාවකට ගියා. මම වැඩ කළේ අනුරාධපුරයේ. ඊට පස්සේ 1998 සැප්තැම්බර් ඉඳලා මහ බැංකුවේ රස්සාවට ගියා. ඒ වෙද්දි මම බාහිර දේශපාලන වැඩවලට සම්බන්ධ වෙන එක මුළුමනින් ම වගේ නවත්තලයි තිබුණේ. 1994 වෙද්දි චන්ද්‍රිකා නෝනා ශ්‍රී ලංකා එකේ නායකත්වයටත් රනිල් මහත්තයා එජාපයේ නායකත්වයටත් පත්වුණාට පස්සේ මට කරන්න දේශපාලනයක් ඉතුරුවෙලා තිබුණේ නෑ. ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක ම ලිබරල් ආධිපත්‍යයට යට වුණාට පස්සේ අපි මොනවා කරන්න ද?

1995 අවුරුද්දෙන් පස්සේ මම නලින් සර් මුණ ගැහිලා තියෙන්නේ හුඟක් අඩුවෙන්. නලින් සර් නාලක හාමුදුරුවන්ගේ පන්සලේ පන්ති වගයක් පවත්වපු බවකුත් මට ආරංචිවුණා. නලින් සර් එක දිගට ම පත්තරවලට ලිව්වා. ඉරිදා දිවයිනට ලියපු ලිපිත් බදාදා අයිලන්ඩ් පත්තරේට ලිපිත් මම කියෙව්වා. ඒත් විදුසර පත්තරේට ලියපු “අපේ ප්‍රවාද” ලිපි මම කියෙව්වේ අතරින් පතරින්. ඒ ලිපි ඇතුළත් කරලා පළ කරපු පොතක් දෙකක් ගත්තත් මම ඒවා කියෙව්වේ නෑ. එහෙම ප්‍රවාද හදන එක අපේ ක්‍රමයට ගැලැපෙන්නේ නෑ කියලයි මට හිතුණේ.

නලින් සර්ගේ තාත්තා මියගියාට පස්සේ සර් “අපි මහා විහාරයේ” කියලා ලිපියක් ලිව්වා. ඒක හුඟක් හොඳ ලිපියක්. ඒත් පස්සේ පස්සේ සර් මහා විහාරය, මහාවංශය, ථෙරවාදය විවේචනය කරන්න පටන්ගත්තා. ඒ ගැන මට ඇතිවුණේ ලොකු අකැමැත්තක්. “නාථ දෙවියෝ” ගැන කියපු කතාව ගැනත් මට පැහැදීමක් ඇතිවුණේ නෑ. මහේශාක්‍ය, ආකාසට්ඨ දෙවිවරු මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නේ නෑ කියන එක තමයි අපි පිළිගත්ත විශ්වාසය. ඉතින් ඔය “නාථ දෙවියෝ” නමින් පෙනී ඉන්නේ කිසියම් භූතාත්මයක් කියලා මම හිතුවා. ඔය “දෙවිවරු” එක්ක ගනුදෙනුකිරීමේ භයානකකම ගැනත් මම මගේ යාළුවන්ට කිව්වා. ඒත් සර් ඒ ගැනත් ප්‍රවාදයක් හදාගත්තා.

දන්න කාලෙක ඉඳලා මම මගේ දේශපාලනය හැඩ ගස්සවගෙන තියෙන්නේ “අධිරාජ්‍ය විරෝධය” කියන මූලික කාරණය කේන්ද්‍ර කරගෙන. ලිබරල්වාදය කියන්නේ අධිරාජ්‍යවාදයේ සංස්කෘතිය. ඉතින් මම උග්‍ර ලිබරල් විරෝධියෙක්. මම WhatsApp, Messenger වගේ ඒවා පාවිච්චි කරන්නේ නැත්තෙත් මේ අධිරාජ්‍ය විරෝධය ඉහවහා ගිහිල්ලා තියෙන හින්දයි.

1997 – 2016 අතර, මම මගේ මුළු කාලය ම රස්සාවේ වැඩවලටත් බාහිර ඉගෙනීම් කටයුතුවලටත් යෙදෙව්වා. මම චීන භාෂාවත් චීනය ගැනත් ඉගෙනගන්න පටන්ගත්තේ මගේ අධිරාජ්‍ය විරෝධය හේතුවක් කරගෙන. ඒත් චීනය ගැන කැමැත්තක් සර්ට තිබුණේ නෑ. 2005 විතර ඉඳලා මම ථෙරවාදී කලාපය ගැන අදහස වර්ධනය කළා. “රත්තවනාරාම වංශ කතාව”, “පෙරදිගට ගමනක්”, “කාවන්තිස්ස වැඩපිළිවෙළ”, “බෞද්ධ ජනරජ ප්‍රවාදය” වගේ පොත් ලිව්වා.

අධිරාජ්‍ය විරෝධි සටනක දී ඒකට අදාළ හැම මතවාදයක් ම හවුල් කරගන්න ඕන. ලෙනින්ගේ සහ මාඕගේ අදහස්වලින් ඒ සඳහා ලොකු ශක්තියක් ලැබෙනවා. ඒ අදහස් ඇති කරගෙන තියෙන්නේ මාක්ස්ගේ සහ එංගල්ස්ගේ අදහස් පදනම් කරගෙන. ඉතින් අධිරාජ්‍ය විරෝධී අර්ථයෙන් මාක්ස් - ලෙනින්වාදී අදහස් යොදාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ට්‍රොට්ස්කිවාදය, ව්‍යාජ වම (ජවිපෙ), සහ NGO වම සේවය කරන්නේ අධිරාජ්‍යවාදයට. හැබැයි එහෙම නැති අධිරාජ්‍ය විරෝධි වමකුත් තියෙනවා. චීනයේ තියෙන්නෙත් එහෙම වමක්. ඉතින් අධිරාජ්‍ය ගැති සහ අධිරාජ්‍ය විරෝධි වාමාංශික පාර්ශ්ව අතර තියෙන වෙනස අපි තේරුම්ගන්න ඕන කියන එකයි මගේ අදහස.

කොහොම හරි මේ කරුණු කාරණා මුල් කරගෙන නලින් සර්ගේ අදහස් සහ මගේ අදහස් අතර වෙනස්කම් තියෙනවා. ඒත් මේ රටේ ලොකු චින්තන ප්‍රබෝධයක් ඇති කරවන්න නලින් සර් ලබාදීපු නායකත්වය අපි අගය කරන්න ඕන. විශේෂයෙන් ම, බටහිර දැනුමේ ආධිපත්‍යයට එරෙහි සටනට ඒ අදහස්වලින් ලැබෙන ආලෝකය මෙච්චරයි කියලා කියන්න බෑ.

මෙන්න මෙහෙම ඇගැයීමක් තමයි මට නලින් සර් ගැන තියෙන්නේ. මේ කතාව තවදුරටත් පැහැදිළි කරන්න නම් තව විස්තර මහ ගොඩක් කියන්න වෙනවා. ඒත් ඒ හැම විස්තරයක් ම කියන්නේ කොහොම ද?
නලින් ද සිල්වා ගුරුතුමාට උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා! 🙏

Share: