"මගේ ලෝකයෙන්" නලින් සර්ට හිමිවිය යුතු තැන - කපිල පීරිස්


-කපිල පීරිස්
1986 දී ප්‍රකාශයට පත්වූ "මගේ ලෝකය" යනු නලින් ද සිල්වා මහතාගේ පළමු කෘතියයි. එය විද්‍යාව, විද්‍යාත්මක ක්‍රමය, තාක්ෂණය පමණක් නොව විශේෂයෙන් දර්ශනය යන්නද උඩු යටිකුරු කළ දැවැන්ත නිර්මාණයකටත් වඩා හෙළිදරව්වකි.

අප දැනට හඹා යන විද්‍යාව-විද්‍යාත්මක විධික්‍රමය,ඒ මත ගොඩනැගෙන තාක්ෂණය ආදිය පන්චේන්ද්‍රිය අත්දැකීම් තුළ මානසික හිතළු ගොන්නකට වැඩි දෙයක් නොවන බව එනම් විද්‍යාවේ නියම- ප්‍රවාද යනු මෙවැනි ආකෘති-හිතළු බව විද්‍යාවේ ඉතිහාස විකාශනය සහ පංචේන්ද්‍රයන්ගෙන් ලෝකයේ විවිධ දෑ ග්‍රහණය කරගැනීම යන්න විමසමින් නලින් ද සිල්වා මහතා කදිමට පෙන්වා දේ. අපෙන් පරිබාහිරව වූ වාස්තවික යථාර්ථයක් සොයා යාමක් (සහ එවැනි යථාර්ථයක් ) මෙහි නොමැති බව ඒ මහතා පංචේන්ද්‍රිය අත්දැකීම් මතම සිටගෙන හැර දක්වයි. මේ අනුව මේ අදහස් ගෙන හැර පෑම් තවත් ප්‍රවාද නිර්මාණයකින් ඔබ්බට යන්නාවූ එක්තරා ආකාරයක දැනුම පිළිබඳ දැනුම, දර්ශනය පිළිබඳ දර්ශනය ආදිය ගැන විමසන්නට අප යොමු කරන නවමු චින්තන පෙරළියකි. තවත් ලෙසකින් සඳහන් කරන්නේ නම් හිතළු මනස, සිත පිළිබඳවම මූලික වශයෙන් විමසන්නට අපව පුබුදුවා ලන්නකි. තවත් හිතළු ගොඩ නොනගා අප මේ ගැටලුව එනම් මනස-සිත ගැන වන මේ උභතෝකෝටිකය ලිහා ගන්නේ කෙසේද? යන්න මෙහිදී පැන නගින මූලිකම ගැටලුව වේ.

හිතළුවල ස්වභාවය දැන් අපි දනිමු. මෙවැනි හිතළු ප්‍රවාද ලෞකිකත්වය තුළ විවිධ භෞතික විද්‍යා ආචරණ සදහා මෙන්ම සමාජ විද්‍යාවන් හීද වැදගත්ය. එනම් පංචේන්ද්‍රිය සීමාවේදී වුවත් මේවා වැදගත්ය. නලින් සර් පංචේන්ද්‍රිය සීමාවේ සිටිමින්ම සාධාරණ-සාපේක්ෂතාවේදි ( General Relativity), ක්වන්ටම් යාන්ත්‍රිකයේදී (Quantum mechanics)නව ප්‍රවාද (ඇතැම් විට බෞද්ධ දාර්ශනික පසුබිමේ) ගොඩනගා ඇත.එසේම ගණිත - භෞතික විද්‍යාවේ යම් යම් සංකල්ප වඩාත් පැහැදිලි කර ගැනීමට චතුස්කෝටික න්‍යාය යොදාගෙන ඇත.සමාජ විද්‍යාවේද දෙමළ ජාතිවාදය න්‍යායාත්මකව පැරදවීමෙහිදී මෙන්ම විවිධ දේශපාලන සංසිද්ධීන් උදෙසාද ප්‍රවාද ගොඩනගා ඇත. ඒවා අතීශය වැදගත් විය. එහෙත් නලින් සර් විසින්ම මගේ ලෝකය ඔස්සේ කළ වැදගත්ම හෙළිදරව්ව එනම් මනසේ හිතළු පිළිබඳව එන හෙළිදරව්ව ඔස්සේ අපේ ගැටලු (දුක) නිවා ගැනීමට කවර පියවරක් ගෙන ඇත්ද?

පංචේන්ද්‍රිය සීමාව තුළ මනසේ හිතළු නැමති බොල් කොටු පවුර බිඳ හෙළීමත් සමග අප ප්‍රවේශ විය යුතුව තිබුනේ අපේ සංස්කෘතියේ - සාහිත්‍යයේ විශේෂයෙන්ම පරම විද්‍යාව වන ධර්මයේ සඳහන් මනීන්ද්‍රිය-අධ්‍යාත්මිකත්වය වෙතය. මනීන්ද්‍රිය ඔස්සේ මනස සිත, සිතේ ගැටළු දුක ඇතිවන හැටි ඉන් මිදෙන හැටි සියල්ල තවත් හිතළු සෑදීම් වලට කොටු නොවී විසඳා ගන්නා හැටි ධර්මයේ සඳහන්ය. ඒ ආභාසය ලබා ගත්තේ නම් අපට අපේ මුලික ගැටලුව වන දුක (මනසේ වන) එනම් මානසික වේදනා සියල්ලට මුල්වන බව මෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාරන පරිදි මුලු ලොවම දිව යන්නේ මේ ' වේදනා' ඔස්සේ බව තේරුම් ගත හැකිය. සියලුම දාර්ශනික ගැටලුවල ප්‍රවේශවල මුලද එයයි. ඒවායේ බොහෝවිට ඇත්තේ දාර්ශනික සෝමනස්ස සොයා යාමකි. ඉතින් මේ වේදනා-දුක සිතේ හට ගන්නා ආකාරය සහ ඒ බව නොදැන ඒවායින් මිදීමට අප විවිධ ව්‍යාජ උත්සාහයන් (බොහෝවිට දාර්ශනික ) ගන්නා අයුරු පැහැදිලි වේ. මේ පැහැදිලි වීමත් සමග අපේ බොහෝ දුක් නිවාලමින් මනසේම හටගන්නා විවිධ දාර්ශනික ගැටලු බොහොමයක් වියැකී යයි. එවිට ඉතිරි වන්නේ ප්‍රායෝගික ගැටලුවලට අදාලව මනසේ ඇතිවන ප්‍රශ්න පමණය. ඒවායේ බොල් දාර්ශනිකත්වයක් නැත. මනසෙන් පරිභාහිර ලෝකයක් ඇත්ද නැත්ද වඩා නිවැරදි විඥානවාදයද භෞතිකවාදයද සැබෑ ලෝකය යනු කුමක්ද, විශ්වයේ ආරම්භය කවදා සිදුවුණාද, නිවන් දකින්නේ කවුද?, කර්ම කරන්නේ , විඳින්නේ කව්ද? නිවන සඳහා උත්සාහ කළ හැකිද? ආදී ගැටලු පැන නැගි විගස අප විමසිය යුත්තේ මේ පැන නගින මනස-සිත පිළිබඳවය. මේ ප්‍රශ්න පැන නගින, ඇති කරන, අසන මනස-සිත පිළිබඳව නොදැන, මනස සිත ⁣මේ ප්‍රශ්න ඇති කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ? කුමන සෝමනස්සයක්ද? කියා නොදැන මේ ගැටලු මනසින්ම-සිතින්ම නිරාකරණය කිරීමට යාමේ ඇති ඵලය විද්‍යාත්මකභාවය කුමක්ද ? අප මුලින්ම ලිහා ගතයුතු ගැටලුව එයයි. එය දර්ශනයේ මුලිකම ගැටලුව වේ. මේ ගැටලුව ලිහා ගැනීමේදී මනසේ-සිතේ ඇතිවන වේදනා- සෝමනස්සයන් සදහා එහි ඇති රාගයන් (නන්දි රාගය) දෝමනස්සයන් සඳහා ඇති ද්වේශයත් තේරුම් ගත හැකිය. සෝමනස්සයන් සොයමින්, දෝමනස්සයන් පළවා හරිමින් ක්‍රියාත්මක මනස-සිත පිළිබඳව දැනගත් විගස (ප්‍රත්‍යක්ෂ නොවේ ! ) දර්ශනයේ බොහෝ ගැටලු හිරු දුටු පිණි මෙන් වියැකී යයි. නලින් සර් පුපුරුවා හල ඒ හිතළු- ඵෙන්ද්‍රිය සීමාවේ වු පවුර මතින් අප ප්‍රවේශ විය යුත්තේ හිතළු හදන මනසට නොව, හිතළු විමසා මනසේම ස්වභාවය විමසන මාවතටය. එය වූකලී දර්ශනයේ සීමා මායිම් හෙළිදරව් කරන්නකි. පංචේන්ද්‍රිය හිතළු පවුර බිඳලූ වහාම ඇත්තටම අප ප්‍රවේශ විය යුත්තේ ශ්‍රී සද්ධර්මයටය. එහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාළ නාම රූප ක්‍රියාවලිය ( මෙය මතයක් නිර්මාණයක් හිතළුවක් නොව භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂයකි) පිළිබඳව දැන ගත හැක. අප මේවා පිළිබඳව හිතළු-මතවාද- ප්‍රවාද ගොඩ නැගිය යුතු නැත. කළ යුත්තේ තම අධ්‍යාත්මය විමසමින් විදසුන් වැඩීමය.

ඉහත සදහන් කළේ පෙර කී කොටු පවුර බිඳ හෙළීමත් සමග අප දාර්ශනිකව සහ අවසාන වශයෙන් දුකින් මිදීමට පාතැබිය යුතු අයුරුය. එසේම මේ පුපුරුවා හැරීම සමග අපට ලෞකිකවද දේශීය අපේම වූ දැනුමක් සොයා යාමේදී මෙන්ම එවැනි දේශීය දැනුම් තේරුම් ගැනීමේදී ද මනීන්ද්‍රිය-අධ්‍යාත්මික ප්‍රවේශය අතීශය වැදගත් බැව් ප්‍රකට වේ. දේශීය -පෙරදිග දැනුම්වල සහ නුතන බටහිර දැනුම්වල සුවිශේෂී වෙනස වන්නේ පෙරදිග දැනුම්වල අධ්‍යාත්මික සංරචකය අති පුබල වීමයි. මේ ඔස්සේ අපි මගේ ලෝකයේ සිට ගමන අරඹමු! නලින් සර්ට නිසි ගෞරවය ලබා දෙමු. කපිල පීරි
Share: