නලින් වියෝගය , පඬියන් සහ ඇල්මැරුනු ජාතිකවාදීන් -ඉසුරු රන්දෙණිකුමාර



-ඉසුරු අරුනාභ රන්දෙණිකුමාර
නලින් සර් අවසන් ගමන් ගියේය. එතුමා අවසන් හුස්ම හෙලුවේ මෛත්‍රී භාවනාව වඩමිනි. එක්කෝ එතුමා ප්‍රාර්ථනා කල පරිදිම ලක්දිව උපත ලබා ඇතුවා විය යුතුය. නැතහොත් සම්‍යයක්දෘශ්ඨික දෙවියෙක් ලෙස වැඩ සිටිය යුතුය.

එතුමා ජීවත්ව සිටියදී බොහෝ පඬියන්ව නිර්ධය ලෙස විවේචනය කලේය. ඒ මතවාදීව විනා පුද්ගලිකත්වය අලලාගෙන නොවේ. එය වටහාගත් යම් ප්‍රතිවාදීන් පිරිසක් සිටිති. මතවාදීව එකඟ නොවෙමින් නලින් ද සිල්වාගේ දැනුම අගය කලේ ඔවුන්ය. එතුමාගේ දැනුම පිලිබඳ උකුනු පස්චාත්භාගයක අදහසක් නැති පඬියන් හා පඬිච්චියන් හත් ගව්වක සිට කැට කැබලිති විසි කරති. ඒවායින් නලින් ද සිල්වාට හෝ ඔහුගේ මතවාදයට බිඳකුදු හානියක් නොමැත.

නලින් ද සිල්වා මියගියේ "දේශපාලනිකව හා මතවාදීව ජයග්‍රාහකයෙකු වශයෙන්" යැයි මා පෙර ලිපියක සඳන් කලෙමි. එය එසේද යැයි පරගල ලබ්ධිකයෙකු හෝ ලිබ්බෙකු අසන්නට පුලුවන.

"දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නය කුමක්ද" යැයි දශක ගනනක් තිස්සේ අසන ලද බෙදුම්වාදය අවසාන කරන්නට මුලපිරූ ප්‍රශ්නය අදටත් විවෘතව අභියෝගයකින් තොරව පවතී. නලින් ද සිල්වා විසින් ප්‍රමුඛ දේශපාලන ප්‍රවාද තුනක් ඉදිරිපත් කරන ලදී.

1) කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කල හැකිය
2)මහින්ද රාජපක්ශ විසින් සිරිසේනට ශක්තිය ලබාදිය යුතුය
3) සිංහල බෞද්ධ ඡන්ද වලින් ජනාධිපති කෙනෙක් තෝරා පත් කල හැකිය.
යන්න ඒ ප්‍රමුඛ අදහස් තුනයි. උක්ත අදහස් තුනම මහපොලවේ සත්‍ය ලෙස රෝපනය කල හැකි බව නලින් ද සිල්වා පෙන්වා දුන්නේය.

නලින් ද සිල්වා කොටි ත්‍රස්තවාදය යුධමය ලෙස පරාජය කරන ලෙස අදහස ගොඩනගන කාලයෙහි සාමය වනාහි එකම පිලිතුර ලෙස තෝරාගෙන තිබිනි. සුදු නෙලුම් රැගෙන සාම තවලම් යන කාලයේ නිර්භය ලෙස ඔහු ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රවාදයක් ගොඩ නැගීය. රනිල්ට එරෙහිව සිරිසේන මහින්ද එක් කිරීම මෙන්ම සිංහල බෞද්ධයින්ගේ ඡන්දයෙන් ජනාධිපති කෙනෙක් පත්කරගැනීමත් උඩුගම්බලා යමින් ඇතිකල නව අදහස් විය. නලින් ද සිල්වා සිටගත්තේ නිවැරදි තැන විනා බහුතරය සිටිනා තැන හෝ බහුතරය සතුටු කල හැකි තැන නොවේ!

නලින් සර් ගේ ගෝලයින්, මතවාදී අනුගාමිකයින් හා සමස්ථයක් ලෙස ඔහු විසින් ගොඩනගන ලද මතවාදී ප්‍රවාද අනුව පියවර තබන්නන්ගේ වත්මන් අළස, නිද්‍රාශීලි හැසිරීම ඉතාමත් නින්දා සහගත බව කිව යුතුය. මේ වන විට බුදු සසුනට, සිංහල බෞද්ධ සංස්කෘතියට, ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව බලවත් හස්තයන් රැසක් ක්‍රියාත්මක වෙයි. ඒ සියල්ල නොදුටුවාක් මෙන් නිදා සිටීම සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව දිවි ගෙවන කුමන පුද්ගලයෙක්ට වුවද ලැජ්ජාවකි. නලින් ද සිල්වාට කරන අවමානයකි.
"යෝ මං පස්සති සෝ ධම්මං පස්සති" යනුවෙන් බුදුරජාණන්වහන්සේ පැවසුවේ ධර්මය ඉලක්කගත කල යුතු බවයි. තමා මියගිය පසු ධර්මය ගුරු කොට තබාගන්නා ලෙසත් උන්වහන්සේ දේශනා කරන ලද්දේ අහේතුකව නොවේ. නලින් ද සිල්වා මහතා ගේ මතවාදය විශ්වාස කරන පුද්ගලයින්ද කලයුත්තේ එතුමා පෙන්වන ලද මාර්ගයෙහි නිර්භයව ගමන් කිරීම පමනි . නලින් ද සිල්වා මහතාට කලහැකි විසල්ම ගරු කිරීම එයම වේ!
නලින් ද සිල්වා ගුරු පියානනි .. ඔබ පැතූ ලෙසම නැවතවරක් මේ පුන්‍යභූමියෙහි පහලවේවා ! පසුව පතන්නා වූ බෝධියකින් නිවන් සැප ලබාගනිත්වා !
Share: