කොළඹ සරසවියේ ජාතික චින්තන මතක - ධර්මන් වික්‍රමරත්න


-ධර්මන් වික්‍රමරත්න
මෙරට සිටි ප්‍රමුඛ විද්වතෙකුවන ආචාර්ය නලින් ද සිල්වා දැයෙන් සමුගෙන ඇත . මියයනවිට 79වැනි පසුවූ ආචාර්ය නලින්, පානදුරේදී උපත ලැබුවේ 1944 ඔක්තෝබර් 20දාය. හෙතෙම කොළඹ තර්ස්ටන් සහ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. නලින් ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙකි. ඔහු විසින් ‘මගේ ලෝකය‘ කෘතිය තුළින් 1986දී දර්ශනවාදී අදහස් ඉදිරිපත් කලේය. ඔහු පිළිබඳ විවිධ පැතිකඩවල් ඔස්සේ අදහස් දැක්වීම සිදුවන බැවින් ආචාර්ය නලින්, ජාතික චින්තනය සහ කොළඹ සරසවිය ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබඳව මා මෙහිදී ආවර්ජනය කිරීමට කැමැත්තෙමි. 1984 සිට Dharman Wickremaretne ඔහු වෘත්තිය වශයෙන් ඇසුරු කළෙමි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සමාජ විකාශනය හදාරන්නේ ලාංකීයත්වයට නොගැලපෙන සංකල්ප සහ න්‍යාය ඇසුරු කොට ගැනිමෙන් බවද ලාංකිකයනිගේ ලෝක දෘෂ්ඨිය වී ඇත්තේ බටහිර ලෝක දෘෂ්ඨිය යැයිද මතවාදයක් කොළඹ සරසවිය තුළින් 1980 මුල් භාගයේදී මතුවිය. අධිරාජ්‍ය විරෝධි අරගලයේ ප්‍රධානතම කාර්යය වනුයේ එම පරාදීන චින්තනයට එරෙහිව සටන් වැදිම බව එම මතවාදය අවධාරණය කළේය. අපේ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගත යුත්තේ අපේම වූ චින්තනයකින් යැයි කියා සිටි මෙම මතවාදය ස්ථාපිත කිරිමට පුරෝගාමී උත්සාහයක් ගත්තේ ආචාර්ය නලීන් ද සිල්වාය. කොළඹ සරසවිය තුළින් ඇරඹුණු ජාතික චින්තන කණ්ඩායමේ නායකයා ඔහුය.
කොළඹ සරසවියට ගණිත කතිකාචාර්ය වරයෙකු වශයෙන් 1979 අප්‍රේල් 4වැනිදා බැදුණු නලීන් ද සිල්වා තාරකා විද්‍යා කේෂේත්‍රයෙන් සිය ආචාර්ය උපාධිය බ්‍රිතාන්‍යයේ සසෙක්ස් සරසවියේදී නිම කළේ මාස 18කිනි. යාන්ත්‍රික විද්‍යාව, කොන්ටම් යාන්ත්‍රණය, සාපේක්ෂතාවාදය වැනි විෂයන් සම්බන්ධයෙන් මෙරට සිටි මුල් පෙළේ විද්වතෙක් වූ ඔහු කොළඹ සරසවියේ සහාය මහාචාරවරයෙකු ලෙස පත්වූයේ 1990 අගෝස්තු 18වැනිදාය. ගණිත අංශයේ මහාචාර්යවරයෙකු වූ නලීන් අසූව දශකයේ මුල් භාගයේ සිට සතියකට දිනක් පැය කිහිපයක් ‘ගවේශකයෝ’ නම් කවයක් පිහිටුවාගෙන සිසුන් අතර සංවාදයක් පවත්වමින් සිටියේය. අසූව දශකයේ සරසවි සිසුන් අතර දේශපාලන මතවාදයන් බරපතල ලෙස සංවාදයට ලක්කල සිව්දෙනා ලෙස නිව්ටන් ගුණසිංහ, නලීන් ද සිල්වා, වික්‍රමබාහු කරුණාරත්න සහ දයාන් ජයතිලක හැදින්විය හැක.

මහාචාර්ය නලින් ද සිල්වාගේ සේවයද වරෙක කොළඹ සරසවියේ 1992 දෙසැම්බර් 4වැනිදා වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලදී. එයට එරෙහිව ඔහු විසින් පවරන ලද නඩුවකදී කම්කරු විනිශ්ච සභාව මගින් රුපියල් 737,008ක වන්දියක් ගෙවන ලෙස කොළඹ සරසවියට නියෝග කළේය.
රටේ ඒකීය භාවය අනතුරට ලක්වීමේ සේයාවක් මතුවෙමින් තිබු සෑම අවස්ථාවකදීම කොළඹ සරසවි ජාතික චින්තන කණ්ඩායම එයට එරෙහිව ක්‍රියාකාරිව මැදිහත් විය. අධිරාජ්‍ය විරෝධි අරගලයේ ප්‍රධානතම කාර්යය වනුවේ පරාධීන චින්තනයට එරෙහිව සටන් වැදීම යනු ඔවුන්ගේ දැක්ම විය. කොළඹ සරසවියේ විද්‍යා පීඨය තුළින් මතුවූ ජාතික චින්තන ප්‍රවාහය බොහෝ දෙනාගේ කථා බහට ලක්විය. කොළඹ සරසවියේ සහ මොරටු සරසවියේ මධ්‍යස්ථ බලවේගයන් එම සරසවිවල ප්‍රධාන ප්‍රවාහය ලෙස 1980 මුල් භාගයේදී ක්‍රියාත්මකවු අතර පිළිවෙලින් එහි නායකත්වය ගත්තේ කොළඹ ගෙවිදු කුමාරතුංග සහ මොරටුවේ අශෝක අභයගුණවර්ධනය.
කොළඹ විද්‍යා පීඨයේ බලය රැදී තිබුණේ ජාතික චින්තන කණ්ඩායම මතය. 1984, 85 සහ 86දි පිළිවෙළින් විද්‍යා පීඨයේ නායකයින් වූයේ ගෙවිදු කුමාරතුංග(කුමාරතුංග මුණිදාසගේ මුණුබුරා), පුෂ්ප විතානගේ සහ අනූප පැස්කුවෙල්ය. එහි සෙසු තීරක නායකයින් වූයේ රොෂාන් ගුණවර්ධන සහ මාලක වීරසූරියයි. රොෂාන් සහ මාලක මොරටු සරසවියේ චම්පික රණවකගේ සමීප දේශපාලන මිතුරන්ය. විද්‍යා පීඨය නියෝජනය කල ශිෂ්‍ය ක්‍රියාකාරකයෙකු වූ හේමන්ත චන්ද්‍රසිරි කලක් ජවිපෙ නියෝජනය කළේය. ජාතික චින්තනය යනු රටේ ඉතිහාසය පුරා ගොඩනැගී තිබුණු සභ්‍යත්වයේ හරයන් පාදක කර ගනිමින් අනාගත සමාජවාදි සමාජයක් ගොඩනැගීමට කල ප්‍රවිශ්ඨය බව ඔවුහු කියා සිටියහ. ශ්‍රාස්ත්‍ර සහ නීති පීඨයන් 1985 මුළුමනින් ස්වාධීන සංගමය මැර බලයෙන් යටත් කර ගෙන තිබිණි.

එහෙත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර බලයට එරෙහිව සමස්ථ අති බහුතර සිසුන්ගේ පිළිගැනීම 1986 මැද භාගය වන විට හිමිව තිබුණේ විද්‍යා පීඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව වෙතය.

මේවන විට එනම් 1986 වන විට සමාජවාදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් කොළඹ සරසවිය භාරව සිටියේ ජවිපෙ ලලිත් විජේරත්නය. ජවිපෙ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය 1986 ජුනි 20 ආරම්භ කල අතර එය කොළඹ සරසවියේත් පිහිටුවීමට 1986 ඔක්තෝබර් 2වැනිදා රැස්වීමක් ජපුර සහ කැළණිය සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවති අවස්ථාවේදී ස්වාධීන ශිෂ්‍ය සංගමය දයා පතිරණගේ නායකත්වයෙන් කොළඹ සරසවියේ සමාජවාදි ශිෂ්‍ය සංගමයේ සරත් එදිරිසූරිය, හේමන්ත, රොෂාන්, සමන්, ජිනානන්ද හිමි, ධම්මික හිමි, චන්ද්‍රරත්න හිමි ඇතුළු පිරිසට පහරදුන් අයුරු එම රැස්වීම වාර්තා කිරීමට ගිය ලියුම්කරු Dharman Wickremaretne දුටුවේය.

මේ අතර තුළ කොළඹ විද්‍යා පීඨයේ ජාතික චින්තන කණ්ඩායම සමාජයේ විවිධ තලයන් තුළ ක්‍රියාත්මක වන්නට විය. එහි ප්‍රතිඵලයක් වූයේ චින්තන පර්ෂදය බිහිවීමය. ආචාර්ය නලීන් ද සිල්වා, වෛද්‍ය රංග වික්‍රමසිංහ, මාදුළුවාවේ සෝභිත හිමි, ගෙවිදු කුමාරතුංග, ජී.අයි.ඩී. ධර්මසේකර, හේ.ආ. සුසිල් පෙරේරා, ආචාර්ය පියසේන දිසානායක එහි අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් විය. චින්තන පර්ෂදයේ ප්‍රකාශනය වූ කාලය මංගල කලාපය 1986 නොවැම්බර් 1වැනිදා නිකුත් විය. කාලය මාසික සඟරාව එම වකවානුවේ අතිශයින් ජනප්‍රිය වූ අතර එය නොකඩවා කලාප 16ක් නිකුත් විය. වරෙක එය පිටපත් 20,000ට ආසන්නව අළෙවි විය.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා ආනන්ද පියසිරි හේවා පතිරණ 1986 දෙසැම්බර් 15වැනිදා පස්වරු 7ට පමණ ජවිපෙ විසින් පැහැරගෙන ගොස් බණ්ඩාරගම හිරණ තොටුපොල අසළදී බෙල්ල කපා ඝාතනය කර තිබිණි. ඔහු සමඟ සිටි පුංචිරාලගේ සෝමසිරි මරණීය තුවාල ලබා බේරිණි. පතිරණගෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා බවට කේ.එල්. ධර්මසිරි පත්වූ අතර ඉන් පසු කොළඹ සරසවිය ඔවුන්ගේ බලකොටුවක් බවට පත්කර ගත්තේය.
ස්වාධීන ශිෂ්‍ය සංගමය මෙම දඩබ්බරකම් කොළඹ සරසවි සිසුන්ට තවදුරටත් දරා ගැනීමට නොහැකි විය. ඒ අනුව විද්‍යා පීඨයේ ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් පොදු සිසුන් ස්වාධීන ශිෂ්‍ය සංගමයට එරෙහිව එක කඳවුරකට පැමිණියේය.

එහෙත් ස්වාධින සිසුන් දිගින් දිගටම පොදු සිසුන්ට ප්‍රහාර එල්ල කළේය. වරෙක ඔවුන්ට පහර දීමට පැමිණි අවස්ථාවක මධ්‍යස්ථ සිසුන් 500කගේ පමණ සහභාගිත්වයෙන් 1987 මාර්තු 24වැනිදා තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කිරීම තුළින් ස්වාධීන ශිෂ්‍ය සංගමය මුළුමනින් පරාජයකර ඔවුන් පලවා හැර කොළඹ සරසවියේ බලය ස්ථාපිත කිරීමට ජාතික ජාතික චින්තන කණ්ඩායම නායකත්වය දුන් විද්‍යා පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවට හැකිවිය. එම සිද්ධිය සිදුවන අවස්ථාවේදී ලියුම්කරු Dharman Wickremaretne එය වාර්තා කිරීමට ගොස් සිටි අතර සෙනරත් ජයසුන්දර ඇතුළු ස්වාධීන සිසුන් සිව් දෙනකු ගස් බැද තිබෙනු දක්නට ලැබිණි. තවත් ස්වාධීන සිසුන් පිරිසක් ජිම් කැන්ටිමට දිව ගොස් ඇතුළුවී යකඩ දොරවල්වලට විදුලිය අල්ලාගෙන සිටිමින් රැකවරණය ලබාගත් නමුදු පොදු සිසුහු පිටුපස ලෑලිදොර කඩා ඊට ඇතුළු විය. කිහිප දෙනෙකු වහලයට නැඟ පළා ගියහ. අවසානයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ 100 පමණ පිරිසක් කොළඹ සරසවියට කඩා වැදි ගස් බැදි ස්වාධින ශිෂ්‍ය සංගමයේ සිව් දෙනා බේරා ගත්හ. අනතුරුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මූලස්ථානය වූයේ ගුණසේන මහානාමගේ රජයේ ලිපිකරු සේවා සංගමයයි.

ජාතික චින්තන කණ්ඩායම සරසවිය තුළ සහ ඉන් පිටත සංවාද සහ සම්මන්ත්‍රණ ගණනවක්ම ජාතික චින්තනය සහ ජාතික විමුක්තිය මැයින් 1987 සිට ආචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කළේය. තිස්ස බාලසූරිය පියතුමාගේ සහභාගිත්වයෙන් 1987 ඔක්තෝබර් 29වැනිදා කොළඹ සරසවියේ පැවති සංවාදයට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ පවා සහභාගි විය.

වසර 1988/89 සහ 90 මුල්භාගයේදී ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෝ ජවිපෙ මර්ධනය කිරීම සදහා පිහිටවූ ප්‍රා සංවිධානයට එක්වී තීරණාත්මක කාර්යභාරයක් කලහ. රටපුරා සරසවි සිසුන් 200කට ආසන්න පිරිසක් මරා දැමුවේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක ධර්මසිරිගේ මැදිහත්වීමෙනි. කොළඹ සරසවියේ නීතිපීඨ වධකාගාරය මේජර් මනතුංග යටතේ පාලනය වූවද ස්වාධීන ශිෂ්‍ය සංගමය තමන්ට අවශ්‍ය පරිදි එම වධකාගාරයේ කටයුතු ගෙන ගියහ. අර්ධ මිල්ටරි කණ්ඩායම් වලින් ඔවුනට වාහන, හැදුනුම්පත්, ආයුධ නොඅඩුව ලැබිණි. නිර්මාල් රංජිත් දේවසිරි සහ බෝපගේ ඇතුළු බොහෝ දෙනා ඝාතන සංස්කෘතියට විරෝධය පා මුලදීම ස්වාධීන ශිෂ්‍ය සංගමයෙන් ඉවත් වූහ.
කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ තෙවන වසරේ හේමන්ත චන්ද්‍රසිරි 1989 ඔක්තෝබර් 13වැනිදා මිනුවන්ගොඩ සිය නිවසින් පැහැරගෙන නීති පීඨ වධකාගාරයට ගෙනවිත් බෙල්ල කපා මරාදමන ලද්දේද අන්තරේ කැඳවුම්කරු සහ නීති පීඨයේ සරත් එදිරිසූරිය 1989 දෙසැම්බර් මස උස්සා පොළොවේ ගසා මරාදැමූවේද එම වධකාගාරයේදී ස්වාධීන ශිෂ්‍ය සංගමය විසිනි. එයට පෙර ඔහුව මේජර් පද්මසිරි උඩුගම්පොල යටතේ ඇති රේස් කෝස් රැඳවුම් කඳවුරටද ගෙන ගොස් තිබිණි. වාණිජ පීඨයේ සමන් කපුගමආරච්චි 1989 ඔක්තෝබර් 19වැනිදා ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ.එල් ධර්මසිරි විසින් තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පැමිණ පුංචි බොරැල්ලේදී ඔළුවට වෙඩිතබා පිහියෙන් ඇන ඝාතනය කර තිබිණි.

ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් කොළඹ සරසවි වාණිජ පීඨයේ උපුල් සද්ධාසේන, 1989 ඔක්තෝබර් 5වැනිදා කෑගල්ලේදීද, ශ්‍රාස්ත්‍ර පීඨයේ බී.කේ. රොඩ්ගූ 1989 දෙසැම්බර් මසද , අනිල් හෙට්ටිආරච්චි, නාවල චන්ද්‍රකීර්ති හිමි, වාණිජ පීඨයේ එම්. ඒ. දයාරත්න 1990 පෙබරවාරි ඝාතනය කරන ලදී. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ.එල්. ධර්මසිරි 1989 ඔක්තෝබර් 20 වැනිදා ජවිපෙ මගින් කොටහේන කොච්චිකඩේදී වෙඩිතබා ඝාතනය කරන ලදී. ආසියාවක සරසවියක ක්‍රියාත්මක වූ මේලේච්ඡ සහ කූරතම ශිෂ්‍ය සංවිධානය වූ ස්වාධීන ශිෂ්‍ය සංගමය 1989 දෙසැම්බර් 15 වැනිදා නිල වශයෙන් විසුරුවා හැරියද එහි කටයුතු 1990 මාර්තු දක්වා ක්‍රියාත්මක විය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ වැරදි මැර ක්‍රියාවන් මුළුමනින් පරාජය කිරීමට හැකි වූයේ කොළඹ සරසවි විද්‍යා පීඨයේ ජාතික චින්තන කණ්ඩායමටය. එහි අදිසි නායකයා ආචාර්ය නලින් ද සිල්වාය.
විශ්ව විද්‍යාල ආචාර සමිති සම්මේලනයේදී කලක් සභාපති තනතුර දැරූ මහාචාර්ය නලින් ද සිල්වා තිදරු පියකි. ඔහු මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් ද කටයුතු කළේය. 
Share: