මහා ප්‍රාඥයා- දිනිත් ඉන්දික හෑගොඩ


 - දිනිත් ඉන්දික හෑගොඩ
මේ ජීවිතයේ මා වඩාත් ගරුකල දැවැන්ත චරිතයක් දැන් අපෙන් වෙන්වී ගොසිනි. මෙරටේ සිටි මහා ප්රාඥයෙකු වූ නලින් ද සිල්වා මහතා ගැන හා ඒ මහතා මගේ චින්තයට බලපෑ ආකාරය කිසිවිටෙකත් කෙටි සටහනකින් කියා නිම කළ නොහැකිය. කෙසේ වෙතත් ඒ මහතා ගැන කෙටියෙන් හෝ යමක් සටහන් කළ යුතුය.

නලින් ද සිල්වා නාමය මා මුලින්ම දුටුවේ ඉරිදා දිවයින පුවත්පතින් හෝ විදුසර පුවත්පතිනි. ඒ පිළිබඳ නිශ්චිත මතකයක් නැත්තේ අප නිවසට එම පුවත්පත් දෙකම මුල සිටම මිලදී ගත් හේතුවෙනි. කෙසේ හෝ වඩාත් ඒ නාමය සිත තුළ රැඳුණේ විදුසරේ පළවූ එතුමන්ගේ ලිපි නිසාය. එවකට සාමාන්ය පෙළ පන්තියේ හෝ නොවූ පාසල් සිසුවෙක්ව සිටි නිසා ඒ මහතාගේ ලිපි වල අඩංගු කරුණු තේරුම් ගත නොහැකි වුවත් , සාමාන්යයෙන් දකින ලිපි වලට වඩා වෙනස් යමක් එහි ඇති බවනම් එකලම මට වැටහී තිබිණ.
අනූව දසකයේ මුල මා සිත වඩාත් ඇදී ගියේ දේශපාලනය වෙතය. එවකට මා සිටියේ උසස් පෙළ හදාරමිනි. එමෙන්ම දෙමළ කොටි ත්රස්තවාදය දරුණු ලෙස රටම වෙලා තිබූ කාලයකි. කොටි ත්රස්තවාදීන් පරාජය කළ නොහැක යන මතය තදින් ජනතාව තුළට කාවද්දා තිබූ සමයක මාගේ මතය වූවේ ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාස කළ යුතුය යන්නය. නලින් ද සිල්වා මහතාද දිගින් දිගටම පල කලේ එම අදහසමය. ඒ මහතාගේ ලිපි කියවීමට මා නැඹුරු වීමට එයද හේතුවක් විය. එමෙන්ම කාලීන දේශපාලනය හැසිරෙන ආකාරය දැනගැනීමටද ඒ මහතාගේ ලිපි ප්රයෝජනවත් විය. ඒ සැමටත් වඩා සිංහල බෞද්ධයාට රටේ හිමි තැන හා ජාතිකත්වය පිළිබඳ ඒ මහතා නිර්භයව ඉදිරිපත් කළ අදහස්ද වැදගත් විය. ඒ අතර විදුසරේ පළවූ එතුමන්ගේ ලිපි නිසා වෙනත් මානයකින් ලෝකය දෙස බැලීමට මා හට හැකිවිය. විශේෂයෙන් මා හට තිබූ ඇතැම් ගැටළු , සංකා නිරවුල් කරගැනීමට හැකි වූයේද එම ලිපි මගිනි. එමෙන්ම මා ඇතැම් සංසිද්ධි , ජනප්රිය පුද්ගලයින් ගැන මා දැරූ අදහස් නිවැරදි බව වැටහුණේ නලින් ද සිල්වා මහතාද ඒ ගැන ඒ ආකාරයෙන්ම ලියූ බැවිණි. එය මට මහත් සතුටක් අත් කරදුන් බව නොකිවමනාය.
අනූව දසකයේ මැද භාගය වනවිට රටේ දේශපාලන වාතාවරණය තිබුණේ රට බෙදීමක් ඇතිවන තැනටම තල්ලු කරමිනි. ඒ නිසා එයට විරුද්ධව තිබූ රැස්වීම් සම්මන්ත්රණ සමහරෙක නලින් ද සිල්වා මහතා දැකගත හැකිවිය. කෙසේ වුවත් ඒ මහතා සැබැවින්ම හමුවූයේත් , කතා බහ කිරීමට හැකිවූයේත් මීට වසර හත - අටකට පෙරදීය. ඒ , නලින් ද සිල්වා මහතා වෙනුවෙන්ම සංවිධානය කළ කටයුතු වලදීය.
විදුසර පුවත්පතේ විසිහතරවන සංවත්සරය වෙනුවෙන් මා එයට යොමුකළ සුබ පැතුමේ නලින් ද සිල්වා මහතා ගැනද සඳහන් කලෙමි. එය , ඒ මහතා කියවා ඇති බව වැටහුණේ ඊට සති කීපයකට පසු එහි පළවුණු ඒ මහතාගේ ලිපියේ යම් සංසිද්ධියක් විස්තර කිරීමට උදාහරණයක් ලෙස දිනිඳු යන නාමය යොදාගෙන තිබූ බැවිනි. එසේ සිතීමට මා පෙළඹවූයේ මා කියවා තිබූ එතුමන්ගේ කිසිදු ලිපියක එම නාමය ඊට පෙර භාවිතා කර නොතිබූ බැවිනි. එය එසේ නම් , එය මා හට එතුමන්ගෙන් ලැබුණු ප්රශංශාවක් බව ගෞරවයෙන් සලකමි.
ඊයේ (02) මාගේ පණස් වැනි උපන්දිනයයි. එවැනි දිනකම එතුමන්ගේ වියෝවේ දුක්ඛිත පුවත අසන්නට වේයැයි කිසි දිනෙක මා සිතුවේ නැත. ඒ මහතාගේ අභාවය සිදු වූයේ නැවතත් ඒ මහතාගේ අදහස් රටට අවශ්යම අවස්ථාවකය.
නලින් ද සිල්වා මහතා සැබවින්ම මහා ප්රාඥයෙකි. එවැන්නන් මෙරට පමණක් නොව ලොවද විරලය. කනගාටුවකට කාරණය වන්නේ එවන් පුද්ගලයකුගෙන් රටට ලබාගතහැකි දේ අපේ රට ලබාගත්තාද යන්නය.
ගුරුතුමනි , ඔබතුමන්ට නිර්වාණ සම්පත්තියම අත්වේවා !!
Share: