උභතෝකෝටික ගැටළු - සංජීව අනුපම


- සංජීව අනුපම

අපේ සමාජයේ උභතෝකෝටික ප්‍රශ්න යනුවෙන් අදහස් කරන්නේ හරි ම බැරෑරුම් මෙන් ම විසඳාගත නොහැකි මට්ටමේ ප්‍රශ්න. සමහරු ඒ ගැන එතනින් එහාට හිතන්නවත් පෙළඹෙන්නෙ නෑ. ඒ වචනයෙන් ඒ තරමට ම විසඳුම ඈත් කරලා තියෙන්නේ..
එහෙම ත් කෙනෙක් තමයි‍, මේ වචනයේ තේරුම ගැන හිතන්නේ. වචනයක තේරුමක් අල්ලා ගෙන ලිපියක් ලියන්න පටන් ගන්න එක ම මගේ අවුලක් කියලා සමහර අයට හිතෙන්න පුළුවන්. ඒක අරුමයක් නෙවෙයි.
ඇත්තට ම උභතෝකෝටික කියන එකේ අදහස මොකක් ද?
කෝටිකය කියන්නේ පරායත්ත විචල්‍යයට. ස්වායත්ත විචල්‍යය තමයි පාටිකය. අර වචනයක් අල්ලා ගෙන ලියන එක අවුලක් කියලා හිතෙන බුද්ධිමත් අයට තේරෙන්න කියනවා නම්‍, පාටිකය කියන්නේ X ඛණ්ඩාංකයට. කෝටිකය නම් Y ඛණ්ඩාංකය. ඒක තේරෙන්නෙ ත් නැත්නම් අවුල මගේ කියලා හිතලා මෙතනින් එහාට මේක කියවන්නෙ නැතුව ඉන්න. තේරුමක් නැහැ ඒ කාලය යෙදවීම.
උභය කියන්නේ "ද්වි" කියන තේරුම. එතකොට උභතෝකෝටික කියන්නේ "එක් ස්වායත්ත සිද්ධියක් මත රැඳෙන පරායත්ත විචල්‍යයන් දෙකක් ඇති" කියන අදහස.
උභතෝකෝටික ප්‍රශ්න කියන්නේ‍, ඒ ප්‍රශ්නයට තිබෙන විසඳුම් ගණන දෙකක් කියන අදහස නෙවෙයි. ප්‍රශ්නයට ලබාදෙන ස්වායත්ත වූ එක් විසඳුමක් නිසා ඇති විය හැකි ප්‍රතිඵල දෙකක් ඇති බව. ඒ කියන්නේ හරියට වර්ගජ ශ්‍රිතයක් වගේ එකක්. එක් ස්වායත්ත විචල්‍යයකට අදාල පරායත්ත විචල්‍ය දෙකක් තිබෙනවා කියන එක.
දැන් ඔය කියන ශ්‍රිතවලින් උභතෝකෝටික ප්‍රශ්න අපට ඕන තරම් ලැබී තිබුණාට ඒවා අර සමාජයේ උභතෝකෝටික ප්‍රශ්න ගැන හිතාගෙන ඉන්න තරම් අපිට විසඳාගන්න බැරි වුණ ඒවා නෙවෙයි. ලිපියේ මුලට ම ගිහින් බැලුවොත් උභතෝකෝටික කියන්නේ ද්විකෝටික කියන එක. ඔය වගේ ම තව එකක් තියෙනවා චතුෂ්කෝටික කියලා. මම හිතන්නෙ ඒ ගැන නම් මුල සිට කියවාගෙන ආපු අයට අර තරම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියල තමයි මට හිතෙන්නෙ.
චතුෂ්කෝටික කතාව ත් එහෙම තේරෙනවා නම්‍, ඇයි උභතෝකෝටික කියන එක ගැන සමාජයේ මහාප්‍රාණ හැඟීමක් තියෙන්නේ?
ඒකට හේතුව තමයි‍, අපි අපේ සමහර දේවල් ගැන අවබෝධයෙන් ඉන්නෙ නැති එක. අපට ඒක වෙන කොහෙන් හරි ආපු දේකින් කිව්වොත් පමණක් තේරෙන තරමට අපි ඒ දේවල් ළඟට වගේ ම ඇතුලට ත් අරගෙන. ඒකෙ වරදක් නැහැ. ඒත්‍, අපේ සංකල්ප අමතක කරපු එකයි හේතුව.
දැන් මේ කතාව හොඳට ම තේරුණු කෙනෙක් කියාවි‍, අයියෝ ඔය කියන ද්විකෝටිකයෙ තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී - මග හිටියොත් තෝ නසී‍" කියන වගේ ඒව නේ කියලා. එහෙම හිතෙනවා නම්‍, හොඳට ම තේරුණා කියලා ත් හිතලා ඉතුරු ටික කියවන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ ම. ඒ කතාවෙ තියෙන්නෙ ස්වායත්ත විචල්‍ය (පාටික) දෙකකට අදාල වෙන වෙන ම පරායත්ත වූ විචල්‍ය (කෝටික) දෙකක් ගැන මිසක් උභතෝකෝටිකයක් ගැන නෙවෙයි. එහෙම ඒවා ගැන ලිපි ලියන්න තරම් විශේෂත්වයක් මට නම් නැහැ.
ඔන්න ඔය වගේ කාරණා නිසා තමයි මහාචාර්ය නලින් ද සිල්වා මහත්තයා කියන චතුෂ්කෝටික න්‍යාය වගේ දේවල් අපේ හුඟක් අයට අඳුකොළ වගේ වෙලා තියෙන්නේ. අනුන් ගේ හුඹස්වල ලස්සනට ජීවත්වන නයින්ට අඳුකොළ දැනිච්ච ගමන් අපහසුතා දැනෙන්න පටන් අරන් ප්‍රතික්‍රියා ඇති වෙනවානේ. ඒ වගේ සංකල්ප ගැන හිතන්නවත් ඒ අයට පෙළඹීමක් නො එන විදියට ම ඒ අය ඇතුලට තමන් ගේ නොවන චින්තන කිඳා බැහැලා. චින්තනය හැදෙන්නේ සංස්කෘතිය පාදක කරගෙන. වෙන සංස්කෘතියක හිතන්න පුරුදු වුණාට ඒකෙන් තමන්ගේ බුද්ධියට හරියට ගෝචර වන චින්තනයක් ගොඩ නැගෙන්නේ නැති බව නලින් ද සිල්වා මහත්තයා නිතර කියනවා. ඒක පිළිගන්න බැරි හුඟක් අයට මම වරදක් කියන්නේ නැත්තේ‍, ඒක තේරුම් ගන්න හැමෝට ම බැරි වෙන්න ත් පුළුවන් නිසා.
අද කෘතීම බුද්ධිය ගැන කතා කරන අය දන්නවා‍, ඒක ක්‍රියා කරන්නේ දත්ත සෑහෙන ප්‍රමාණයක් පරිශීලනය කිරීම තුලින් බව. ඒ පරිශීලනය කරන දත්ත අනුසාරයෙන් මිසක් එතන ගොඩ නගන "දැනුම" කියන එක හැදෙන්න වෙන ක්‍රමයක් නැති බව ඒ අයට වැටහෙනවා. ඉතින් ස්වාභාවික බුද්ධියට ත් එහෙමයි. පරිශීලනය කරන දැනුම යනු පොත් පත් ම නෙවෙයි. සමාජය‍, සංස්කෘතිය කියන දේවල් තමයි පරිශීලනය කරන දැනුම කියන එකෙන් විශාල කොටසකට වගකියන්නේ. දැන් පැහැදිලි ඇති‍, තමන් ගේ සංස්කෘතියට පිට දේවල් ගැන සංකල්ප හදන්න යෑමට වඩා සාර්ථක වෙන්නේ තමන් ගේ සංස්කෘතිය තුලින් සංකල්ප හෝ චින්තනය බිහිකර ගැනීම බව.
ඒක පවා තේරුම් යන්න‍, පිටස්තර උදාහරණ දෙන්න වීමෙන් වගේ ම මෙතෙක් නොතේරුණු දේ පිටස්තර දෙයක් අනුසාරයෙන් කිව්වාම පැහැදිලි වුණා නම්‍, කාරණා දෙකක් තිබෙනවා. එක්කෝ පිටස්තර සංස්කෘතිය තමුන් ගේ එකට වඩා ළං වෙලා. නැත්නම් තමුන් මෙතෙක් ඒක ගැන හිතලාවත් නැහැ. එතන තියෙන්නෙ ද්විකෝටිකයක්. හිතලාවත් නැති කෙනෙක් චින්තනයක් බිහිකරයි කියලා හිතෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි නලින් ද සිල්වා මහත්තයා ඒ සම්බන්ධයෙන් කියන්නේ. තමන් ගේ සංස්කෘතිය තුළ නොසිතීම දිගට ගියා ම ඒ දැනුම සම්ප්‍රේශණය වීම නතර වෙන්න පුළුවන් කියන එකත්‍, ඒ නිසා ම එම සංස්කෘතියට සරිලන චින්තනය විකාශනය වීමක් නොවීමෙ අවදානම තමයි එකුමා පෙන්වා ⁣දුන්නේ. ඒක තේරුම් ගැනීමේ ප්‍රමාණය අඩුවීම ගැන එතුමා කලබල ⁣⁣⁣නොවුණේ‍, දැනුම දෙන්නට පුළුවන් වුව ද‍, අවබෝධය තම තමන් විසින් ම ලබා ගත යුතු දෙයක් වූ නිසා.
අර කලින් ⁣⁣ඡේදයේ "හිතෙන්නෙ නෑ" කියන එක ගැන ත් එතුමා අමුතු කතාවක් කියනවා. එතන තියෙනවා ද්විකෝටිකයට එහා දෙයක්. ලංකාවෙ අපිට නම් හිතන්න ත් පුළුවන්. යමක් පිළිබඳව ඉබේට ම හිතෙන්න ත් පුළුවන්. නොහිතා ම ඉන්න ත් පුළුවන්. වැදගත් ම දේ තමයි‍, හිතුනා නම් "මට එහෙම හිතුණා" කියලා කියන්න ත් පුළුවන්.
ඒත්‍, ඉංග්‍රීසි ජාතිකයෙකුට හිතන්න පුළුවන් වුණාට හිතෙන්න පුළුවන් ද කියන්න මම දන්නෙ නැහැ. මම ඉංග්‍රීසි ජාතිකයෙක් නොවන නිසා ඒ ගැන දන්නෙ නෑ.. ඒත්‍, එහෙම හිතුන ත්‍, ඒ බව ඉංග්‍රීසි ජාතිකයෙක් කියනවා නම් මම අහලා නැහැ. අඩු ගණනේ හිතුණේ නැති බවක් කියනවා වත් අහලා නැහැ. එහෙම අහල තියෙන කෙනෙක් ඉන්නවා නම්‍, ඒ බව ඇහුණු විදිය අපිට ත් කියන්න‍, ඉගෙන ගැනීම සඳහා.
අන්න එතන තියෙනවා විය හැකි අවස්ථා දෙකකට වැඩිය. හිතනවා‍, හිතන්නේ නැහැ විතරක් නෙවෙයි‍ ඉබේට ත් හිතෙනවා කියන සංකල්පය. ඒක සංස්කෘතියෙන් එන දෙයක්.
මේ වගේ සෑහෙන තර්කානුකූල කතා අප සිතන‍, අපට සිතෙන පරාසයෙන් පිටතට ගෙන ගොස් පැහැදිලි කළ මහාචාර්ය නලින් ද සිල්වා මහතා ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
එතුමාට නිවන් සුව ලැබේවා!!!

Share: