මහාචාර්‍ය් නලින් ද සිල්වා - දයා විමලසූරිය


- දයා විමලසූරිය
මහාචාර්‍ය් නලින්ද සිල්වා මට සැබෑ ජීවිතයේ මුණගැසී ඇත්තේ කීප වතාවක් පමණි.
නමුත්, පුවත්පත්වල එතුමන් පළකළ ලිපිවලින්, ගුවන්විදුලි, රූපවාහිනී වැඩසටහන් වල එතුමා ඉදිරිපත්කළ අදහස් අනුව, නලින්ද සිල්වා ගැන මා තුළ ගොඩනැගුණු ප්‍රතිරූපයක් විය.

එම මනස් චිත්‍රය ඉතිරිකොට එතුමන් සිරුරින් නික්ම යන යද්දී, එළෙස “මා දුටු මහාචාර්‍ය් නලින් ද සිල්වා” ගැන යමක් ලිවීමට සිත්විය.

1980 ගණන්වල මුල …
එක්තරා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ විද්වතෙක් සිනාමුසු මුහුණින් යුතුව නිවේදකයාට අභියෝගයක් ඉදිරිපත් කරමින් "ඔය ගුරුත්වාකර්ෂණය කවුරුත් දැකල, අල්ලල බලල නෑ - හැබැයි අපි ගුරුත්වාකර්ෂණයෙන් යම් යම් වැඩ ගන්නවනෙ ? ඒ වගෙම මහසෝනත් කවුරුත් දැකල, අල්ලල බලල නෑ - හැබැයි අපි මහසෝනගෙනුත් යම් යම් වැඩ ගන්නවනෙ ? ... ඒ නිසා මං කියන්නෙ යම් දිනක අපි කියවනවනං මහසෝන බොරුවක් ඔප්පුකරන්න පුළුවන් කියල, ඒ ආකාරයටම ගුරුත්වාකර්ෂණයත් බොරුවක් බව ඔප්පුකරන්න පුළුවන් කියල පුළුවන් කියල මා යෝජනා කරනව" කීම, එකළ කුඩා පාසල් සිසුවෙක් වූ මා බලාගෙන සිටියේ කටත් ඇරගෙනය.
( ඒ කාලය එතුමන් නව සමසමාජ පක්ෂයේ මාක්ස්වාදී/ට්‍රොට්ස්කිවාදී මතවාදයෙන් මිදී, එතෙක් දැරූ බටහිර විද්‍යාවටම බර මතවාදය වෙනුවට, ජාතිකත්වය මත පදනම් මතවාදයක් සොයා යන්නට පටන්ගත් අවධිය බව මා පසු කලෙක කරුණු හදාරද්දී දැනගතිමි )
ඒ විද්වතා, මහාචාර්‍ය් නලින් ද සිල්වා, සාම්ප්‍රදායික, ගතානුගතික උගතුන් යන සීමාවෙන් ඔබ්බට ගොස් ( Thinking Out Of The Box ) තම තර්කයට හසුවන දේ වටහා ගන්නට යත්ත දරන, පටිසෝතගාමී මිනිසෙක්ය යන හැඟීම මට එදා පහළ වූ අදහසයි.

1980 ගණන්වල අග …

තවත් රූපවාහිනී වැඩසටනකදී, මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජුගෙන් ඇසූ ප්‍රශ්න මාලාවන් දෙක රූප සටහනක් ද ( Venn Diagram ) ඇඳ, ගණිතයේ එන කුලක න්‍යාය අනුව පැහැදිලි කරමින්, ද්වීකෝටික තර්ක ක්‍රමය සහ චතුස්කෝටික තර්ක ක්‍රමය අතර වෙනසත්, බුදු දහම අවබෝධ කරගැනීම සඳහා එහි ඇති අවශ්‍යතාවත් නලින් ද සිල්වා මහතා පැහැදිලි කරද්දී ගණිතය හදාරමින් සිටි මා හට එය ඇසූ සැණින් අවබෝධ වූයේ මෙලෙස කරුණු පැහැදිලි කරන්නට මේ මහාචාර්යවරයා සතුවූ නිසග හැකියාව ගැන යම් ගෞරවයක්ද සමගිනි.

1991 …

ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ විකාශය වූ "ආරාධිත ශිල්පියෙක් සමග" වැඩසටහනට ආරාධිතයා ලෙස පැමිණ, එම නිවේදකයා 1956 දී ලංකවේ සිදුවූවාය කියූ, පේරාදෙණිය සරසවිය මුල්කරගත් ඊනියා සංස්ක්ෘතික/භාෂා පුනරුදයක් ගැන කියද්දී වහා ඊට මැදිහත්ව "මම නං හිතන්නෙ ඔතන ලොකු මිථ්‍යාවක් තියෙනව..." කියමින් එම මිථ්‍යාව කුමක්ද යන්න කරුණු එකින් එක ගෙන පැහැදිලි කරමින් ව්‍යක්තව කරුණු දැක්වීම පාසල් සිසුවකු ලෙස මා අසා සිටියේ විස්මයට පත්වය.
එම වැඩසටහනේදීම නලින් ද සිල්වා මහතා තම ප්‍රියතම ගීතය, අරිසෙන් අහුබුදු රචනා කළ, සුනිල් සාන්ත ගයන "ලංකා ලංකා" ගීතය බව කියූ විට නිවේදකයා නැගූ පැණයට පිළිතුරු දෙමින්, දේශීය සංගීතයක්, අපටම ආවේණික සිංහල සුභාවිත ගීත කලාවක් නිර්මාණය කළ සුනිල් සාන්තයන්ට ගුවන් විදුලිය හැරයන්නට සිදුවූ ආකාරය ( 1952 රතන්ජංකර් කුමන්ත්‍රණය නිසා ) කෙළින්ම කියා ගුවන්විදුලිය තුළදීම, ගුවන්විදුලියෙන් වූ ඒ ඓතිහාසික අත්වැරැද්ද පෙන්වා දිය හැකි කොන්දක් තමාට ඇති බව එතුමා පෙන්වාදීම මා අගය කළෙමි.

1990 ගණන් වල මැද …

බටහිර විද්‍යාවත්, පැරණි විද්‍යාවත් ( සාමප්‍රදායික දැනුම ) අතරට එන "ත්ෘතීයික විද්‍යාවක්" ගැන මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා දැක්වූ මතයට එරෙහිව මහාචාර්‍ය අලවත්තාගොඩ පේමදාස දැක්වූ "විද්‍යාව යන බටහිර විද්‍යාවමය" මතය සමග "විදුසර" පුවත්පතේ සති ගණනාවක් ඇදී ගිය හරවත් විද්වත් විවාදය මා ඉමහත් අභිරුචියකින් කියවීමි.
එහිදී නලින් ද සිල්වා මහතා ව්‍යක්ත ලෙස ගොඩනැගූ තර්කයන් නිසා. මේ විවාද මාලාව අවසන, මහාචාර්‍ය අලවත්තාගොඩ පේමදාසම "කෙසේ හෝ ත්ෘතීයික විද්‍යාවට ලෝකය රැක ගැනීමට හැකිවේවායි මම පතමි" කියන්නට සිදුවීම මට අදත් මතකය.
නලින් ද සිල්වා යනු විෂය ක්ෂේත්‍ර ගණනාවක ගැඹුරු කියවීමක් තිබූ ප්‍රාමාණික විද්වතෙක් බව මා සිතමි. ඔහුගේ මොළයේ ධාරිතාව ගණිත දැනුමෙන් පමණක් පුරවන්නට බැරි නිසා සංගීතය, කලාව, දේශපාලනය, භාෂාව, ජාතිකත්වය වැනි දේත් ඔහු තම මනස තුළට පුරවා ගත්තා විය හැක.

ඔහුගේ අදහස් සහ දේශපාලන භාවිතාව ගැන අපට විවිධ මත තිබුනත් නලින් ද සිල්වා යනු ලංකාවේ මෑත ඉතිහාසය තුළ පහළවූ විරල ගණයේ විද්වතෙක් මෙන්ම, ඩී.ජේ. විමලසුරේන්ද්‍ර, කුමාරතුංග මුනිදාස, රේ විජේවර්ධන, අනගාරික ධර්මපාල, සුනිල් සාන්ත, සී.ඩ්බ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ආදීන් මෙන්ම ලංකාව විසින් නිසි ප්‍රයෝජනය නොගත් තවත් එක් විශිෂ්ඨයෙකි.
යම් විශේෂ තත්වයන් යටතේ නලින් ද සිල්වාගෙන් ලංකාව සුවිශේෂී සේවාවන් ලබාගත් බව මා දන්නා අතර, "නලින් ද සිල්වා මොනවද කරේ ?" කියා උපහාසයෙන් අසන සමහරුන් පවා ඒවා නොදන්නවා විය හැක.
මේ සඳහා උදාහරණයක් ලෙස කීර්ති තෙන්නකෝන් මහතා මීට පෙර මුහුණුපොතේ දැක්වූ එක් සිද්ධියක් යළි සිහිපත් කරමි …
කොළඹ ඛෙත්තාරාම ක්‍රිකටි පිටිය, දිවා රාත්‍රී තරග පැවැත්වෙන ලංකාවේ ප්‍රථම ක්‍රිකටි පිටිය බවට නවීකරණය කෙරෙද්දී එක් බරපතළ පැණයක් මතුවිය. ඒ, අතිවිශාල විදුලි ආලෝක කුළුණු වල සෙවනැල්ල අවුරුද්දේ ඕනම කාලයක ක්‍රීඩා පිටිය මතට නොවැටෙන ලෙස ඒවා ස්ථානගත කිරීමේ අභියෝගයයි.
හිරු නගින බසින වේලාව, අහස හරහා හිරු ඇදී යන පථය ආදිය වසරපුරාත්, වසරින් වසරටත් වෙනස්වන නිසා ඒවා සළකා බලා විදුලු කුළුණු නිවැරදිව ස්ථානගත කිරීම අතිශය සංකීර්ණ ගණිතමය ගණනය කිරීම් වුවමනා වෙහෙසකර කාර්‍යයකි.
මේ ව්‍යාප්ෘතියේ නියමුවා වූ රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමාගේ කැමැත්ත ඇතිව අදාළ ව්‍යාප්ෘති බලධාරීන් මේ භාරදූර රාජකාරිය බාර දුන්නේ ඒ ගණනය කිරීම හරියටම කරන්නට හැකි ගණිත හැකියාවත්, තාරකා විද්‍යා දැනීමත් යන දෙකම තිබූ ලංකාවේ ප්‍රමුඛයා වූ නලින් ද සිල්වා මහතාටය - එතුමා ඒ කාර්‍ය්‍යය හරියටම ඉටු කළ නිසා ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ( දැන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය ) ක්‍රිකට් තරග රසවිඳින්නට තමනට ඉඩ ලැබුනු බව ඒ තරග නරඹන ඇතැම් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පවා නොදන්නා කරුණකි.

දෛවෝපගත සිද්ධිය වන්නේ නලින් ද සිල්වා මහාචාර්‍යතුමාට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා දේශපාලන හේතු මත නයාට අඳුකොළ මෙන් වූ අතර එතුමන් ක්‍රිකට් කීඩාව ගැනත් එතරම් ප්‍රසාදයක් දැක්වූ කෙනෙක් නොවීමය ! එහෙත් නලින් ද සිල්වා මහතාගේ ඒ සුවිශේෂී දායකත්වය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කීඩාවට සිදුවූ මෙහෙය ඉමහත්ය.
නලින් ද සිල්වා යනු මේ ලියන මමත්, කියවන ඔබත් මෙන් පුහුදුන් මිනිසෙක් නිසා එතුමන් අතින් වැරදි සිදුවන්නට ඇත. මාගේ මේ සටහනේ ප්‍රස්තූතය එය නොවේ.
නලින් ද සිල්වා මහතා විවේචනය කරන අය සිතා සිටින්නේ තමන් අතින් කිසිදාක වරදක්, අත්වැරැද්දක් සිදු නොවනවා කියා විය යුතුය. නොඑසේනම් නලින් ද සිල්වා මෙන් තමන්ට ලැබුණු අවස්ථාවේ උසස්පෙළ විභාගය තමන් තෝරාගත් විෂයමාලාවෙන් නිසි ලෙස සමත්ව විශ්ව විද්‍යාලයට ගොස්, Batch එකේ ඉහළම ලකුණු ලබා විදෙස් සරසවියක ආචාර්‍ය් උපාධිය වසර ගණනාවක් කළින් සාර්ථකව නිමකර වාර්තාවක් තබන්නට ඔවුන්ටත් පුළුවන් කියා සිතා සිටිනවා විය යුතුය.

නලින් ද සිල්වා මහතාගේ අඩුපාඩු ගැන, වැරදි ගැන, දේශපාලන භාවිතාව ගැන උපහාසයෙන් කතාකරන අතරම විවිධ කයියගහන බලවේග වලට වහල්ව කඩේ යන, නලින් ද සිල්වාගේ දැනුමට හෝ බුද්ධියට අලගු තියන්නටවත් අසමත් නානාප්‍රකාර "බුද්ධිමතුන්", "ජනමාධ්‍යවේදීන්", "විද්වතුන්" ආදී ලේබල අලවාගත් අයෙක් නොවන නොවන නිසා, මා එතුමාට නිවන් සුව ලැබේවායි පතමි !!!
Share: