-සසිත් රාජසූරිය
ඔහු පනස් හයේ දරුවන් අතරින් ශ්‍රේෂ්ඨතමයාය. ඔහු ක්‍රිස්තු වර්ෂයෙන් පස් වන සියවසෙන් පමණ පසුව, ප්‍රවාද කරණය සහ නිර්මාණාත්මක චින්තනය ගැන වඩාත්ම සලකා බැලූ සිංහලයාය. ඔහු වියුක්ත සංකල්ප සංස්කරණය සහ ප්‍රවාද කරණය ඊට ආගන්තුක සංස්කෘතියකට හඳුන්වා දුන් චින්තකයාය. ඔහු අනිසි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අලුයම හෙළූ කෙළ පිඩක් සේ ප්‍රතික්ෂේප කළ මිනිසාය. ඔහු දහසක් අවලාද පරිභව ඇනුම් බැණුම් මහා කන්දක් සේ දරා සිටි යෝධයාය. ඔහු සියලු අනුකාරක පඬියන්, පඬි නැට්ටන් බවට දක්වා උනට නිසි තැන දුන් ප්රහාරකයාය. ඔහු පඬියන්ට හිස් රිදුම් දුන් පණ්ඩිතයා ය.
ඔහු කතාවක් ආරම්භයේදී හිතවතුනි යි මෙන්ම අහිතවතුනි යි ඇමතූ කථිකයා ය. ඔහු කුඩා දරුවකු වුවද වටිනා නිර්මාණාත්මක බවක් දැක්වුව හොත් ඒ අගය කළ වැඩිහිටියා ය. ඔහු බිංදුවේ ගෞරවය සිංහල බෞද්ධයාට හිමි කරන්නට වෙහෙසුණු ගණිතයා ය. ඔහු බුදු සසුන පවත්වන රාජ්‍යයක, ජාතියක, භාෂාවක, සංස්කෘතියක ආරක්ෂාව වෙනුවෙන් යුද වදින්නට වටිනා බව පෙන්වූ පණිවිඩකරුවා ය. ඔහු දැනුම් ආධිපත්‍යයෙන් මිදීම, නිදහස පිළිබඳ අනිවාර්ය අවශ්‍යතාවක් බවට සූත්‍ර ගත කළ නිදහස්කාමියාය.
ඔහු භෞතිකවාදීන්ට දිරවාගත නොහැකි වූ භෞතිකවිද්‍යා ආචාර්යවරයා ය. ඔහු ඉතිහාසය නොණ්ඩි ගසන සමාජ විද්‍යාවක් ලෙස නොව සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ කාලය පිළිබඳ වන අධ්‍යයනය ලෙස සැලකූ ඉතිහාස කථාකරුවාය. ඔහු සිංහල අවුරුද්ද ඇගැයූ සංස්කෘතික අවුරුදු කුමරා ය. ඔහු බටහිර විශ්වවේදයේ අනුකාරකයකු නොවී, එහි දැනුම් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කළ, එහි දැනුම සංස්කරණය කළ ප්රවාදකරුවා ය. ඔහු අපේ ප්රවාදයන්හි පුරෝගාමියා ය. ඔහු මියයන්නට දිනකට පෙරත් අකුරු කළ අසහාය ලියුම් කරුවා ය. ඔහු නාගාර්ජුනපාදයන්ගේ බුද්ධිමය ප්රභාවට හිත ගිය ථෙරවාදීයා ය. ඔහු නිවන නිර්වචනය කරන්නට උත්සාහ කළ හිතුවක්කාරයා ය. ඔහු දම්සෙනෙවි සැරියුත් හිමියන්ට වෙසෙසින් ගරු කළ පැණැතියා ය. ඔහු මාක්ස්වාදයෙන් මිදී බුද්ධ වංශය කෙරෙහි ශ්‍රද්ධාවෙන් නැමුණු සිංහල බෞද්ධයා ය. ඔහු නික්ම ගියේ ය!
මඟ හැරුණු අවසාන ඇමතුම
ජීවමානව හමු වූ මිනිසුන් අතරින් මගේ අදහස්වලට වඩාත්ම අභියෝගාත්මක බලපෑමක් කළ චින්තකයා නලින් සර්ය. ලංකාවේ ප්‍රසිද්ධ සහ උගත් යයි සම්මත සමාජයේ නලින් සර් තරමට සෘජු, නිර්භය, අල්පේච්ඡ සහ ජාතිමාමක අයකු මම නොදිටිමි. නලින් සර් මිය ගියේ මැයි දෙවන දා අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වේලාවෙන් උදෑසන පහට පමණ බව තමරා මැඩම් මට දන්වන විට සර් අවසන් සුසුම් හෙළා පැය දෙකක් පමණ ඉක්ම ගොස් ය. ඔහායෝ හි වාසය කරන මට ඒ වන විට බ්‍රහස්පතින්දා උදෑසන 10 පමණ විය. වසර තුනක් පමණ මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍යයන්ගෙන් බෙහෙවින් ඈත්ව සිටි මා නැවත මුහුණු පොතට කැඳවාලූයේ සර්ගේ වියෝව සමඟ හටගත් ශෝකය විසිනි. මිය යාමට පැය 34කට පෙර ඔහු විසින් දුන් අවසාන ඇමතුම මඟ හැරීම ගැන මම අතිශයින් දුක් වෙමි. ඒ ඇමතුම ලැබෙන විට මට අඟහරුවාදා රෑ එකට ආසන්නව තිබූ බැවින් මම නින්දේ පසුවීමි. මට රාත්‍රී 1 ආසන්නව තිබූ නමුත් කැලිෆෝනියාවට ඒ වනවිට රාත්‍රී දහය ආසන්නය. බදාදා උදෑසන අවධි වූ මා, සර්ට කෙටි පණිවිඩයක් යවා මඟ හැරුණු ඇමතුම දුටුවේ ඒ මොහොතේ බව දන්වාලීමි.
මඳ වේලාවක් ගතකොට සර්ට ගත් ඇමතුමට ප්‍රතිචාරයක් නොවූ නමුත්, විනාඩි 45 කින් පමණ මට සර්ගෙන් ඇමතුමක් ලැබුණේය. ඇමතුම සර්ගේ දුරකතනයෙන් ලැබුණත් මට කතා කළේ තමරා මැඩම් ය. සර්ට පෙරදින අසනීප වුණ බවත් යම් පරීක්ෂණයකින් අනතුරව ක්ලාන්ත ස්වභාවයක් ඇති වූ බවත් දැන් විවේක ගන්න බවත් පවසා සිටි ඈ සර් නින්දෙන් අවදිව මට ඇමතුමක් ගන්නා බවට දැන්වූ බව පවසා සිටියාය. අවාසනාවකට එම ඇමතුම පැමිණියේ පැමිණෙන්නේ හෝ නැත! නලින් සර් මට අවසන් වරට කතා කළේ අප්‍රේල් 25 වෙනිදාය. එදින සර්ට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වග කියා සිටියේය.
බෙහෙත් ඖෂධ ගැන කළ කෙටි කතා බහකින් පසුව එකිනෙකාට ආසිරි පතා අපි විසන්ධි වූයෙමු. නිවහල්ව සිතන්නට එඩි දුන් ශ්‍රේෂ්ඨ සිංහලයා අවසන් හුස්ම හෙළීය! එතැන් පටන් මාගේ සිතුවිලි සිය දහස් ගණන් පුරා ආදරණීය නලින් සර් පිළිබඳ මතකයන්ගෙන් මෙන්ම අවේගයන්ගෙන් පිරී තිබේ. මුහුණු පොතේ කෙටිසටහනක් තැබීමෙන් පසුව බොහෝ මිතුරන් සර් පිළිබඳ ලියා තැබූ දේ කියවමින් සිටියද කිසිවක් නිරවුල්ව ලියා තබන්නට තරම් විවේකයක් මට නොවීය. ඉරිදා දින ෆ්‍රීමාන්ට් හී පැවති අවමඟුලට සහභාගී වෙන්නට සෙනසුරාදා දින අලුයම සින්සිනාටි ගුවන් තොට වෙත මම තනිවම පිටත් වීමි.
2002 වර්ෂයේ දිනෙක සවස් වරුවෙහි කොළඹ සිට මහරගම පමුණුව පාරේ නලින් ද සිල්වා මහාචාර්යතුමාගේ නිවෙසට ගිය මුල්ම ගමන මට සිහි වෙයි. ඒ එවකට මා සභාපති ධුරය දැරූ මහාබෝධි පාසල් ශිෂ්‍ය සංගමය සංවිධානය කළ, කොළඹ නගරයේ විහාරස්ථානවල දහම් පාසල් සිසුන් සඳහා නායකත්වය පිළිබඳ දේශනයක් පැවැත්වීමට නලින් සර්ට ආරාධනා කිරීම පිණිසය.
එවිට මම උසස් පෙළ අවසන් කළා පමණි. ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටියදී 1999 හෝ 2000 වසර දෙකින් එකකදී පළමු වතාවට නලින් සර්ගේ දේශනයකට සවන් දීමට, පාසල ඇරී, තනිවම, ප්‍රථම වතාවට බෞද්ධ මහා සම්මේලනයට ගිය වගද මට සිහි වෙයි. බෞද්ධ සම්මේලන පරිශ්‍රයේ ඉහළ මාලයේ ඇති කුඩා ශාලාවේ පැවති එම රැස්වීම ඕමාරේ කස්සප හිමියන් විසින් මුලසුන ගත් දේශපාලනමය රැස්වීමක් වූ බවද, නලින් සර් ගේ කථාව මධ්‍යයේ බාධා කළ අයකුට නලින් සර් දැඩිව බැණ වැදුණු අයුරුද මට සිහිවෙයි. ඒ ප්‍රථම වතාවට නලින් සර් සජීවීව දුටු දිනය බව සිහි කරමි.
මහාබෝධි ශිෂ්‍ය සංගමයේ කටයුත්ත සඳහා දින 3 – 4ක් පමණ තිබියදී අප අපේක්ෂාවෙන් සිටි දේශකයා නොපැමිණෙන බව පැවසීම නිසා අන් දෙයක් කරකියාගත නොහැකිව නලින් සර්ගේ නිවෙස කරා මමත් හර්ෂ දේශප්රියත් පිය මැන්නේ, බිය මුසු ගෞරවයකිනි. අප නිවසට ඇතුළු වූ පසු, උඩු කය නිරුවත්ව සිටි නලින් සර් කමිසයක් ඇඳ අසුන්ගෙන අපට සවන් දෙන්නට විය. මම කෙටියෙන් නමුත් අපගේ අපේක්ෂාව සැල කළෙමි.
අවසාන මොහොතේ මෙබඳු හදිසි ආරාධනාවක් කිරීමට සිදු වීම ගැන මම සමාව අයැද සිටියෙමි. ” ඒ කියන්නේ, දැන් මට ආරාධනා කරන්නේ එන්න කියපු අය බැහැ කිව්ව නිසා, වෙන කවුරුත් නැති නිසාද? ” මේ වචන මේ අකාරයෙන්ම නොවුණද නලින් සර් මගෙන් එසේ විමසීය මම කෙටියෙන් මුත් මුසා නොකියා පිළිතුරු දුන්නෙමි. ” ඔව් සර් ” . ” හොඳයි මම එන්නම් ” ඒ මට ලැබුණු පිළිතුර විය. මහාබෝධියේ කටයුත්තට පැමිණි නලින් සර් කළ නායකත්වය ගැන කථාවේ හරය මට තවම මතකය. අපේ අග්‍රගණ්‍ය නායකයා නම් බුදුහාමුදුරුවෝය. සිංහලයන් ලෙස අපගේ ශ්‍රේෂ්ඨතම නායකයා ගැමුණු රජතුමාය. මේ ශාලාවේ මේ පිළිමය අඹා තිබෙන ධර්මපාලතුමා අපගේ අන්තිම නායකයාය. ධර්මපාල තුමාගෙන් පසුව අපට නායකයන් තවම නැති බව සිහියේ තබාගන්න ” . මේ වචන ඒ අයුරින්ම නැතත්, ඔහු දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවනට කීවේ එයයි. මේ රැස්වීම ආරම්භ කරන්නට පෙර, බුදු පිළිම වහන්සේ උදෙසා පූජා කරන්නට මහාබෝධි ශාලාව ඉදිරිපිට මම මල් වට්ටියක් සකසමින් සිටියෙමි.
නලින් සර් හරියටම වෙලාවට පැමිණ, දැන් වෙලාව කීයදැයි අත් ඔරලෝසුවක් පැලඳ සිටි මගෙන් විමසීය. ආ… සර්… වෙලාව එකයි. සර් හරියටම වෙලාවට ඇවිත්. ඒත්, සර් තවම ලොකු පිරිසක් ඇවිත් නැහැ. ළමයි ටිකයි ඇවිත් ඉන්නේ. ඒකට කමක් නැහැ. කී දෙනෙක් විතර ඉන්නවද? සර් 200ක් බලාපොරොත්තු වුණාට, 80ක් විතර තමයි ඉන්නේ. ආ. 80 හොඳටම ඇති. මේ වගේ ඒවාට 80ක් එනවා කියන්නේත් ලොකු දෙයක්. මගේ සිත සැහැල්ලුවටද සතුටටද පත් විය. 1995 – 1996 වර්ෂවල විහාරයක වෙසක් සමරු කලාප පිටපතක ” ජාතික චින්තනය ” නමින් ලියූ ලිපියකින් පාසලේ 8/9 වසරේ පමණ ” නලින් ද සිල්වා ” යන නම හඳුනා ගත් මම වසර කිහිපයකට පසුව උසස් පෙළ අවසන් වූ සැණින් මේ අග්‍රගණ්‍ය චින්තකයාට මෙසේ සම්මුඛ වීමි.
සිංහල බෞද්ධ චින්තනයේ ඥාන විභාගය
එතැන් පටන් මා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ නීති විද්‍යාලයේ ඉගෙනගත් කාලයේ ද කිහිප විටක් එතුමා හමු වීමට හැකි විය. අනෙක් බොහෝ දෙනා මෙන්ම දිවයින ” දැක්ම ” සහ විදුසර ” අපේ ප්‍රවාද ” ලිපි පෙළ මගේ සතිපතා අනිවාර්ය කියවීම් විය. කෙටි කලක් චින්තන පර්ෂදයේ කටයුතුවලට සම්බන්ධ වී සිටියෙමි. මගේ ලෝකය පළමු වරට කියවන විටත් පසුව, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය හඳුන්වා දෙමින් මා හිතවත් සුමේධ අයියා විසින් රචිත ග්‍රන්ථය කියවන විටත් සංකල්පයක් ලෙස චින්තනය යන සංකල්පයත් දැනුම නිර්මාණය කිරීම ගැනත් විශේෂ බුද්ධිමය ආශාවක් මා තුළ වැඩී තිබිණ. උපන්දා සිට කිසිදාක මාක්ස්වාදියකු හෝ ලිබරල් වාදියකු හෝ ද්‍රවය වාදියකු හෝ නොවූ මට අන්‍ය කවර හෝ බටහිර දාර්ශනික අදහසකට විශේෂ නැඹුරුවක් නොතිබිණි. ස්වභාවයෙන් බුදු සමයේ ඉගැන්වීම් වෙත තිබූ නැමියාව නිසා ජාතිකත්වය පිළිබඳ අදහස් දිරවා ගැනීමට මට භාහිර රුකුල් වුවමනා නොවීය. නමුත්, දැනුම අභිසංස්කරණය ගැනත්, බටහිර දැනුමේ ආකල්ප ගැනත්, සිංහල බෞද්ධ චින්තනයේ ඥාන විභාගයක් පිළිබඳවත් නලින් සර් බිහිකළ දැනුම සහ ඒ අනුව ලෝකය විමසා බැලීම පිළිබඳ සුවිශේෂ ආකර්ෂණයක් මා වෙත වැඩී තිබිණ. විරුද්ධ මතවාද දරන්නන් කුමක් කීවද, නලින් සර්ගේ මේ නිර්මාණාත්මක බුද්ධිමය මැදිහත් වීම නොවන්නට, දැනුම, ඥාන විභාගය සහ විශේෂයෙන් බටහිර විද්‍යාවේ දර්ශනය ගැන ලංකාවේ උගතුන් ගේ අවධානය දැනටත් වඩා බෙහෙවින් අල්පමාත්‍ර වන්නට තිබූ බව මම අදහමි.
වාස්තවික යථාර්ථයක් නැති
නලින් සර් නිරන්තරයෙන් යාවත්කාලීන විය. ඔහුගේ අදහස්ද වෙනස්කම් වෙමින් කාලය සමඟ වර්ධනය විය. ඔහු ඇතැම් ලිපිවල ලියූ ඇතැම් අදහස් ගැන මා එකඟ නොවූ අවස්ථා ද නොතිබුණා නොවේ. නමුත්, බොහෝවිට ඒ ඔහු ගේ අදහස්වල මූලික චින්තනයට විරුද්ධ වීමක් වශයෙන් නොව, ඔහු එබඳු අවස්ථාවල තම අදහස් වර්ධනය කරගන්නට පදනම් කරගත් ඇතැම් කරුණු, සිද්ධි හෝ කථා නිවැරදි නොවන බවට පෙනී ගිය බැවිනි. ඕනෑම දැනුම් පද්ධතියක බලහත්කාරයෙන් සහ ආධිපත්‍යයෙන් මිදී නිවහල්ව දැනුම නිර්මාණය කරන්නට නලින් සර් අපට මඟ පෙන්වා ඇත. මුල් කාලීනව ” දැනුම නිර්මාණය ” යන වචනය යොදා ගත්තද වඩ වඩා ථෙරවාද සම්ප්රදායේ චින්තනයට සිත යොමු කළ ඔහු පසුකාලීනව යොදා ගත්තේ “දැනුම අභිසංස්කරණය” යන වචනයයි. මනසින් බාහිරව පැනවිය හැකි ” වාස්තවික යථාර්ථයක් නැති ” බව නලින් සර් තරයේ කියා සිටියේය. මේ අදහස්, ගණිතමය සංඛ්‍යානය ඉගෙන ගන්නා මට නිදහස් මනසකින් එහි ආ සංකල්ප දෙස සිතා බලන්නටත් ” පරාමිති ” යනු අපේ සංස්කෘතියෙන් බැහැරව දේව නිර්මාණවාදී අදහස් මූලික වූ සංස්කෘතීන් හි වර්ධනය කෙරෙන සංකල්පයක් බවත් වටහා ගන්නටත් මඟ පෙන්වීය. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන්ගේ නාමයෙහි එන “අඤ්ඤා” යන වදනෙහි අර්ථය ගැන නලින් සර් සහ මා අතර වූ දිගු කාලීන සංවාදය අවසන් වූයේ කොණ්ඩඤ්ඤ හිමියන්ට “අඤ්ඤා” යි නම පටබැඳුනේ රහත් වීමට පෙර සෝවාන් වූ අවස්ථාවේ බව මා තරයේ කියා සිටි විටය. ඒ කතාවේ ඇත්තක් තියෙනවා, ඒත් මට නම් හිතෙන්නෙම මේ අඤ්ඤා කියන්නේ දැනුම නොදැනුම බවට පත් කරන එක ගැන කියවෙන වචනයක් කියා! සර් පැවසීය.
අසහාය චින්තකයා
නලින් සර් අපේ කාලයේ අපට අභිමුඛ වූ මිනිසුන් අතර අසහාය චින්තකයෙකි. ලෞකික විෂය ධර්මයන්හි හරය උකහා ගැනීම විෂයෙහි ඔහුට තිබූ සියුම් නුවණ සිත්ගන්නා සුලුය. ඒ අතරම ලොවුතුරු දහම් විෂයෙහි ලෝක සත්වයා වෙනුවෙන් පාරමී පුරන්නට පැතුමක් ඔහුට තිබිණි. නලින් සර් තමන් උගතකු බුද්ධිමතකු ලෙස හඳුන්වනවාට බෙහෙවින් විරුද්ධ වූ හේතූන් වටහා ගැනීම එතරම් අසීරු නොවේ. ඔහු ශ්‍රද්ධාව ඇගැයූ සිංහල බෞද්ධයෙකි.
ඔහායෝ සිට ලොස් ඇන්ජලිස් නුවරටත් එහි සිට නැවත සැන් දියෝගෝ නුවරටත් ගුවනින් ළඟා වූ මමත් සැන් දියෝගෝ වාසය කරන මා හිතවත් අමිල වීරසිංහ මල්ලීත් ෆ්‍රීමාන්ට් බලා ගමන් ඇරඹීමු. ෆ්‍රීමාන්ට් හි අවමංගල ශාලාවේ අසුන්ගෙන සිටින මට එක්තරා කනගාටුවක් නොපැමිණියා නොවේ.
සර්ගේ අවමඟුලට විශාල පිරිසක් සහභාගී වූ බවට මුසාවක් මෙහි ලියා සෘජු ගති ඇති නලින් සර්ට අවමාන නොකරමි. නලින් සර්ගේ දෙටු පුත් තාරක අයියා කළ ඉතා කෙටි ස්තුති කථාවේදී පියකු ලෙස සර් තුළ තිබූ දරු සෙනෙහස, කැපවීම සහ කරුණාව ඉස්මතු වී දැනුණි. සර් ව්‍යාජ ජාතික වාදීන්ට හෝ ජනමාධ්‍යවේදීන්ට හෝ අහිතවතුන්ට සිය දේහය අබියස සිට ව්‍යාජ රඟපෑම් හෝ කතා කරන්නට ඉඩක් තැබුවේ නැත.
සර්ගේ ලිපි කියවූ මංජුල පීරිස් නම් සහෘදයකු ලියා සකසා ගත් කතාවකින් සර්ගේ මෙලොව කාර්යභාරය සහ සේවය ගැන කෙටියෙන් කතාවක් කළේය. තමරා මැඩම්, සර්ගෙ මුනුපුරන්, භික්ෂූන් වහන්සේ කිහිප නමක්ද හිතවතුන් පිරිසක්ද ඉදිරියේ සර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉතාම සරලව සිදු කෙරිණ. මගේ ගමනේ තිබුණේ එක නිශ්චිත අරමුණක් පමණි. ඒ සකසා පින්කමක් කොට සර්ට පින් අනුමෝදන් කිරීමය. සර්ගේ දරුවෙක් නොවුණ ද සර් එබන්දක් අපේක්ෂා නොකළ ද මම මහත් ගෞරවයෙන් හැකි පමණින් එය ඉටු කළෙමි. එක් ලිපියකින් නලින් සර් ගේ කාර්ය භාරය සහ එහි බලපෑම ගැන සංතෘප්ත වියහැකි යමක් ලිවීම නොකළ හැක්කකි. එනිසා දැනට මෙපමණකින් නවතින්නෙමි.
නලින් සර් මගේ ලොවට ආලෝකයක් විය. මම ඒ ආලෝකය නිවහල්ව විචාරශීලීව භුක්ති විඳින්නෙමි. ඒ ගැන කෘතවේදී වන්නෙමි.
නලින් සර්ට ඔහු ප්‍රාර්ථනා කළ බෝධිය පිණිසම පාරමී ධර්මයන් පුරන්නට බුද්ධ වංශයේ විශේෂ කරුණාව හිමි වේවායි ද, සුගති සැප හිමිවේවායි ද ප්‍රාර්ථනා කරමි.
සැන් දියෝගෝ හී දී ය!