ලාංකේය සමාජය මාක්ස්වාදයෙන් ඛණ්ඩනය කිරීම - නලින් සුබසිංහ


මගේ මෑතක පෝස්ටුවක කොමෙන්ටුවක් වශයෙන් අදහස් දැක්වූ පුද්ගලයෙක් මගෙන් අසා තිබුණේ නලින් ද සිල්වා කරපු දේවල් මොනවද යන්නයි. එය ප්‍රශ්නයකට වඩා ප්‍රකාශයකි (බොහෝ ප්‍රශ්නවල තියෙන්නේ ප්‍රශ්න නෙවෙයි ඇත්තටම ප්‍රකාශයි.) ඔහුගේ ප්‍රකාශයේ අරුත වුණේ නලින් ද සිල්වා කළ දෙයක් නැති බවයි. සුපුරුදු පරිදි නාථ දෙවියන් සහ ධම්මික පැණි බෝතල් සම්බන්ධ වාක්‍ය දෙකකුත් ඒ ප්‍රශ්නයේම යටින් තිබිණි.

මේ ප්‍රශ්නය අසා තිබුණේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පීඨයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වීම නිසා නලින් ද සිල්වා ඇත්තටම කරපු දේවල් පිළිබඳ පොදු සමාජයට තබා ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ද පුද්ගලයන්ට අවබෝධයක් නොමැති බවයි. මෙය ඇත්තටම මම දකින්නේ නලින් ද සිල්වා ගේ නොව සමාජයේත් යම් කිසි අර්බුදයක ප්‍රකාශයක් බවයි මම අදහස. මම කලින් උපුටා දක්වපු උවිඳුගෙ පෝස්ටුවේ ඇති කාරණයත් එයමයි.

මේ නිසා නලින් ද සිල්වා ඇත්තටම කරපු දේවල් ගැන යමක් ලියන්න අවශ්‍ය යැයි මට කල්පනා විය.

නලින් ද සිල්වා මූලික වශයෙන් කළ දෙයක් වන්නේ ලංකාවේ ශාස්ත්‍රීය සංවාදය මාක්වාදයෙන් ගලවා ගැනීමයි. නලින් ද සිල්වාට කලින් සමාජයේ බුද්ධිමතකු වීමට නම් යම් කිසි ආකාරයක මාක්ස්වාදියකු වීම අවශ්‍ය යැයි යම් කිසි ආකාරයක සමාජ සම්මතයක් විය. “ධර්මපාල මාක්ස්වාදීද?” වැනි අභග්ග ප්‍රශ්න මේ කාලයේ ඇති වූයේ මේ නිසාය. මේ ප්‍රශ්නය අසන්නන් ධර්මපාලතුමා ප්‍රාඥයකු ලෙස පිළිගත්ත ද ඔහු මාක්ස්වාදියකු නොවීම ඔවුන්ට ගැටලුවක් විය.

මේ සම්මතයෙන් ගැලවීමට අඩුම තරමේ 40 දශකයෙන් පසු සිටි සියලුම පාහේ විද්වතුන් යැයි සමාජයේ සැලකිය හැකි පුද්ගලයන්ට නොහැකි විය. ඔවුන් තුළ මාක්ස්වාදී අදහස් විවිධ මාත්‍රවලින් දැකිය හැකි විය.

සුචරිත ගම්ලත් වැනි විද්වත්හු මාත්‍ර වශයෙන් නොව කෙළින්ම මාක්ස්වාදයේ නොව ට්‍රොට්ස්කිවාදයේම පිහිටා කලාව, සාහිත්‍යය ආදි සියල්ල විචාරය කළහ.

මේ අතර සමහර විද්වත්හු බුදු දහමත්, මාක්ස්වාදයත් දෙකම එක විට දරා ගැනීමට උත්සාහ කළහ. ඔවුන්ට අමාරුවෙන් උත්සාහ කළේ කාල් මාක්ස් කී දේ ඊට කළින් බුදුන් වහන්සේ ප්‍රකාශ කළ බව කීමටයි. මේ අර්බුදය ප්‍රකටවම දැකිය හැකි වූ විද්වතා මාර්ටින් වික්‍රමසිංහයි. ඔහු මිය යන තුරුම සිටියේ මේ විසංවාදයේය. මාර්ටින් වික්‍රමසිංහගේ “බුදු සමය හා සමාජ දර්ශනය” නම් කෘතිය මාක්ස්වාදයත් බුදුසමයත් ගැට ගැසීමේ අසාර්ථක උත්සාහයකි.

සරච්චන්ද්‍ර මාක්වාදය ප්‍රතික්ෂේප කළත්, ඔහුගේ ධර්මිෂ්ඨ සමාජය වැනි කෘතිවල මාක්ස්වාදී අදහස් මාත්‍ර වශයෙන් දැකිය හැකිය. ගුණදාස අමරසේකරට ද අද දක්වාම මාක්ස්වාදයෙන් මුළුමනින්ම ගැලවීමට හැකි වී ඇතැයි මම අදටත් නොසිතමි.

1980 දශකයට පෙර මාක්ස්වාදයට ඍජුවම අභියෝග කළ විද්වතුන් විරල විය. ඔවුන්ගේ මාක්ස්වාදයට එරෙහි විවේචනවල ඇත්තේ මූලික වශයෙන් මාක්ස්වාදයේ අඩුපාඩු පෙන්වා දීමයි.

වඩාත්ම ඛේදනීය තත්ත්වය නම් එකල ඇතැම් උගත් භික්ෂූන් වහන්සේට ද මාක්ස්වාදයෙන් පූර්ණ වශයෙන් ගැලවීමට නොහැකි වීමයි. සමහර ප්‍රකට භික්ෂූන් වහන්සේගේ නම් මෙහි සඳහන් නොකරන්නේ උන්වහන්සේට අපහාස නොවනු පිණිසයි.

ලංකාවේ බුද්ධිමය සංවාද තලය තුළ මාක්ස්වාදයෙන් පැහැදිලි ඛණ්ඩනය සිදු වූයේ නලින් ද සිල්වා ගෙන් පසුවයි.

එය ඔහු විසින් කරන ලද ප්‍රධාන කාර්‍යභාරයකි.
Share: