මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා--සංක්ශිප්ත​ මතකාවර්ජනයක් - ජගත් ගුණවර්ධන


-ජගත් ගුණවර්ධන

මහාචාර්‍ය නලින් ද සිල්වා මැතිතුමා පිලිඹඳව මා මුලින්ම දැනගත්තේ එතුමා විසීන් සිලුමිණ පුවත්පතට 1978 වසරේදී ලියන ලද ලිපි පෙලකිනි.තමන් මාක්ස්වාදය ප්‍රතික්ශේප කලේ කුමක් නිසාද යන්න එහි විග්‍රහ කර තිබුනි.

ඉන් පසුව ඔහුගේ ලිපි කියවීමට ලැබුනේ 1982 සිට දිවයින පුවත් පතිනි.ඒ ඔහු ජාතික චින්තනය සහ​ විද්‍යාත්මක ක්‍රමවේදය වැනි ශාස්ත්‍රීය තේමාවන් ඔස්සේ ලියූ ලිපි තුලිනි.එසේම ඒ වන විට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙන් සංවිධානය කල දේශනයකදී ඊට සවන් දීමට ගිය මට ඔහුව හමුවී තිබිනි.

ඉතා ගැඹුරු තේමාවන් සරල පැහැදිලි සහ තාර්කික ආකාරයෙන් විග්‍රහ කිරීමේ ඔහු සතු අපූරු ගුනයත්,අපේ සිත් තුල තිබුනත් නිසියාකාරයෙන් වචනයට නගා ගැනීමට නොහැකිව තිබූ බොහෝ කරුනු තාර්කික සහ විචාරශීලී ලෙස ඉදිරිපත් කරන මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා නිසාවෙන් 1980 දශකයේදී මගේ දෘස්ථිවාද ගොඩනගා ගැනීමට ලැබුනු ඉමහත් දායකත්වය මවිසින් සැමදා ඉතාමත් කෘතවේදීව සිහිපත් කරන්නෙමි.ඔහුගේ තේමාවන් ජාතික චින්තනය කෙරේ වඩ වඩාත් යොමු වීම 1984 පමන සිට සිදුවූ අතර ගුනදාස අමරසේකර මහතා ගේ ලිපි කියවා සිටි මා හට ඊට වඩා වෙනස් සහ නව්‍ය ආකාරයෙන් ඔහු කල එම විග්‍රහයන් නිසා බොහෝදේ ගැන දෙයාකාරයක දැනුමක් ලබා ගැනීමට හැකි විය​.

මහාචාර්‍ය නලීන් මහතා වසර 15 පමන පසු දේශපාලනයට නැඹුරු වීම යලිත් සිදු කලේ 1994දීය​.ඒ මහජන එක්සත් පෙරමුනෙන් කලුතර දිස්ත්‍රික්කයට මහා මැතිවරනයට තරඟ කිරීමෙනි. ඔහුගේ දේශපාලන කථා රූපවාහිනියෙන් ප්‍රචාරය වීමත්,රූපවාහිනී දේශපාලන සංවාද සඳහා ඔහුගේ දායකත්වයත් මෙකල සිදු විය​.

ඊට වසරකට පසු එනම් 1995දී එවකට තිබූ රජයෙන් ගෙනා දේශපාලන පැකේජයට එරෙහිව ගොඩ නැගුනු ඒකාබද්ධ ජාතික කමිටුව​,ඔහුත් සමඟ එක්ව වැඩ කිරීමට ලද අවස්ථාව විය​.එම කාලයේදී ඔහු සතු දුර්වල කමක් වූ කෝප වීමේ ලක්ශනය දැනගෙන ඉවසීමෙන් කටයුතු කිරීම නිසා මමත් ඔහුත් අතර කිසිඳු ගැටුමක් ඇති නොවිනි.ඒ නිසාම ඔහුත් සමඟ තිබුනු හිතවත්කම දිගටම පවත්වා ගැනීමට හැකිවීම භාග්‍යයකි.

මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා කෙරෙන් මා ඈත්වීම සිදු වූයේ මීට දශක දෙකකට පෙර එනම් 2004 වසරේදීය​.ඒ එම වකවානුවේදී ඔහු දරන්නට වූ දේශපාලන මතවාදය මෙන්ම ඊට එරෙහිව මෙන්ම වෙනස් මත දැරූවන්ට මාධ්‍ය මගින් කල නිර්දය ප්‍රහාර නිසාවෙනි.එසේ වුවද හමුවන සෑම අවස්ථාවකදීම ඔහු වෙත ගොස් කතා කිරීම දිගටම කරගෙන යාම මගෙන් නොවෙනස්ව සිදු වූයේ ඔහු කෙරේ තිබූ ඉමහත් ගරුත්වය මෙන්ම ආදයත් නිසාවෙනි.එමෙන්ම ඔහු ලියූ දේශපාලනික ලිපි ඇතිලු සියලු ලිපිත් සැමදා කියෙවීම කලේත් එම ගරුත්වය නිසාවෙනි.

පසුගිය දශක හතරකටත් වැඩි කාලයක් තිස්සේ අපට වටිනා අදහස් රාශයක් ලබාදුන්,අපව ශක්තිමත් කිරීමට අතිමහත් දායකත්වයක් ලබාදුන් මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා කෙරේ තිබෙන කෘතවේදී ගරුත්වය මෙන්ම ආදරනීය මතකයන් මා සමග සදා පවතිනු ඇත​.
මේ කෙටි සටහන එතුමාට කරන උපහාරයකි.
මහාචාර්‍ය නලින් ද සිල්වා මැතිතුමාට නිවන් අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමි
Share: