පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ - ජයවීර ගමගේ මංගල


-ජයවීර ගමගේ මංගල

නලින් සර් මම ප්‍රිය කරන මතවාදය පෝෂණය කර ප්‍රචලිත කිරීමට උර දුන් ප්‍රධාන චරිතයයි. එබැවින් ඔහු මට ප්‍රියයෙක් වේ. ඔහුගේ නික්ම යෑම මට දුකකි. නමුත් ප්‍රිය කල නිසාම දුක් විය යුතුව තිබේ.

මා කොළඹ සරසවියේ විද්‍යා පීඨයට ඇතුළු වන විට ඔහු එයින් නෙරපා හැර තිබුණි. මට ඔහුගෙන් ඉගෙනීමට අවස්ථාවක් එකල නොවීය. ඔහු බිහි කල චින්තන පර්ෂදය එකල සරසවියේ ක්‍රියාකාරී ව තිබුනද එම ජාතික චින්තන මතවාද එකල මගේ ආකර්ෂණයට ලක් නොවුනි. කිසිවිටක සාමාජිකයකු නොවූවත් 2016 වන තෙක් මා දැරුවේ ජවිපෙ හිතවාදි මතයකි. යම් අහඹු සිදුවීමක් නිසා භෞතිකවාදි ප්‍රවේශයෙන් බැහැරව සිතීමට බල කෙරෙන වටපිටාවක් 2016න් පසු මා වෙලා ගති. බුදු දහම හා එහි සූත්‍ර ගවේෂණයට යොමු වීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මට නලින් සර්ගේ කාලය වෙබ් අඩවියෙහි පලකර තිබූ ලිපි කියවීමේ උනන්දුවක් ඇති විය. එතැන් සිට මට "මගේ ලෝකය" සකස් කර ගැනීමට නලින් සර්ගෙ ලිපි වල බලපෑම මහත් විය. මා එතැන් පටන් ඔහුගේ සියලු ලිපි නොවේ නම් බොහොමයක් ලිපි කියවූවෙමි. එයින් පෝෂණය වූවෙමි. මගේ පරිකල්පනය සම්පූර්ණ වෙනසකට ලක් වූයේ ඔහු නිසා නොවෙතත් ඔහුගේ අදහස් වලින් මා ලබාගත් ආලෝකය වෙන කිසිම ගිහියෙකුගෙන් ලබා ගෙන නොමැත.

සහල් වල ආසනික් ඇති බව සොයා ගැනීමට උදව් වූයේ දෙවියන් බව පවසන විට භෞතිකවාදි මට ඔහු පෙනුනේ මිථ්‍යාව කර පින්නා ගත් පිස්සෙකු ලෙසය. කොටි යුද්ධයෙන් පැරදිය හැකියි ඔහු පවසන විට මා සිතුවේ එය මගේ ජීවිත කාලය තුල සිදු නොවන දෙයක් ලෙසය. විද්‍යාව පට්ට පල් බොරු යැයි එකල ඔහු පවසන විට මා සිතුවේ එහෙනම් බර කරත්තෙන් අනුරාධපුර පලයන් කියායි. නමුත් ලෝකය යනු ඇස කන නාසය දිව කය මගින් ලබා දෙන සංවේදන වලට මනස දක්වන ප්‍රතිචාර යයි මා තේරුම් ගන්නා විට, මනස යනු මනසේම නිර්මාණයකයි අනුමාන හැඟීමක් ලබා ගන්නා විට නලින් සර් පල කරන අදහස් වල ගැඹුර මගේ මනසේ පෙරලි කරන්නට විය.

සසෙක්ස් සරසවියෙන් අයෙකුට කොස්මොලොජි ගැන ආචාර්‍ය උපාධියක් හිමි කර ගැනීමට නම් අනිවාර්යයෙන් භෞතික විද්‍යාව ගැන ගණිතය ගැන ගැඹුරු අවබෝධයක් තිබිය යුතුමය. ඒද සාමාන්‍යයෙකුට වසර 5, 6ක් ගත වන කල ඔහුට ගත වූයේ වසර එක හමාරකි. ඔහුගේ ආචාර්‍යවරයා ගෙන් ඔබගේ රට ඔබ ගැන ආඩම්බර වනු ඇත යනුවෙන් වසර 26දී ඇගයීමක් ලැබීමට තිබිය යුතු බුද්ධි ප්‍රතිභාව කෙතෙක් දැයි සිතා ගත යුතුය. භෞතික විද්‍යාව ගැන දර්ශනය ගැන දේශපාලනය ගැන ඔහු පල කල සංගත අදහස් වල තාර්කික බව සාමාන්‍ය පෙල විද්‍යා දැනුමැත්තෙකුට කෙසේවත් වත් නොවැටහෙන නිසා එවැන්නගෙන් ලැබෙන ගැරහුම් ඔහු තුට්ටුවකට තැකුවේ නැත. සරසවියෙන් ඔබ්බට භෞතික විද්‍යාව ඉගෙනගත් අයට, දැනුම ලබා ගැනීමට බටහිර ක්‍රමය නොව විකල්ප ක්‍රම තිබේ යයි ඔහු පවසන විට එම මත ගෝචර නොවන නිසා ,පිළිතුරු නැති නිසා ඔහුව හෑල්ලු කර ගර්හාවට පත් කර විද්‍යා පීඨ වලින් පන්නා දමන ලදි. ඔහු එවිට එවන්නන්ගෙන් ඇසුවේ අවකාශ කාල වක්‍රතාව නොවේ නම් ගුරුත්වාකර්ශනය දැනෙන ඉන්ද්‍රිය කුමක්දැයි කියායි. ඔහු පැවසූ අයුරින් පඬි නැට්ටන් හා ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන් ඔහු මියගිය පසු දැන් පවසන්නේ නලින් සර් පල කල අදහස් ඔහුට පෙර බටහිර දාර්ශනිකයන් පවසා ඇති බවයි. සිනාවට කරුණ නම් නලින් සර්ගේ අදහස් ඔහු මිය ගිය පමණින් මේ පඬි නැට්ටන් දවසින් කෙසේ වටහා ගත්තේද යන්නයි. බටහිර අනුකාරකවාදි අර්ධ උගතුන්ට නලින් සර්ගේ අදහස් වල හරය හෙටටත් නොවැටහෙන බව නම් ඉදුරාම කිව හැකිය.

නලින් සර් දැරූ අදහස් ථේරවාදි බුදු දහමට එකඟ නොවන අවස්ථා තිබුනද ඔහු කතා කලේ බුදු දහමත් එය රැක ගැනීමට සිංහල බෞද්ධයාට ඇති වගකීමත් ගැනයි. එම අදහස් බැලූ බැල්මට ජාතිකවාදි කඳවුරේ මතය සකස් කර දුන් බව අවිවාදිත ය. ඔහු කෙසේ වත් රාජපක්ෂවරුන්ට කඩේ ගියේ නැත. ඔහු අනිවාර්‍යෙන් අදීන පුද්ගලයෙක් විය. ඔහු කලේ ඡන්ද සඳහා රජපක්ෂවරු ජාතිකවාදි ක්‍රියාමාර්ග වලට අනුගත කරවා ගැනීමකි. බොහෝ දෙනෙකු සිතා සිටින්නේ නලින් සර් රාජපක්ෂ බයියකු බවයි. නමුත් නලින් සර් විවේචනය කරන අර්ධ උගතුන් වටහා නොගත් කරුණ නම් නලින් සර්ගේ සැබෑ කාර්‍යය වූයේ සියවසක් එක තැන පල්වී තිබෙන බටහිර විද්‍යාව විකල්ප දැනුම් ක්‍රම හරහා වඩා පුළුල් කර ගැනීමට ඇති හැකියාව සොයා බැලීමයි. එම අවකාශය ඇති කර ගැනීමට නලින් සර් සිදු කල අතුරු ක්‍රියාව වූයේ මෙතෙක් මේ රටේ ගැමියන් අතර ගැඹුරු ග්‍රහණයකට නතුව ඇති සංස්කෘතිකාංග බටහිර උගතුන්ට වටහා ගත හැකි අයුරින් වඩා සංගත අයුරින් ඉදිරිපත් කිරීමයි. නලින් සර් සැබෑ ජාතිකවාදියෙකු නොවේ යැයි ඇතමුන් පවසන්නේ මේ නිසායි. බටහිර අර්ධ උගතුන්ගේ ප්‍රතිචාරය වූයේ නලින් සර් ගර්හාවට ලක් කිරීමයි.

මෑත කාලයේ ලංකාව විසින් බිහි කල විශිෂ්ටතම උගතෙක් හා ප්‍රාඥයෙකු වූ ඔහුගේ අදහස් වල බලපෑම මේ බිම මත තව දශක ගණනාවක් සක්‍රීයව ජීවත් වනු ඇත. ගුරුතුමනි ඔබට ඉක්මන් භවයකදීම නැති මනසින් නැති මනස අවබෝධ කර ගැනීමට ලැබේවා යයි පතමි
Share: