මගේ ලෝකයේ මහාචාර්ය නලීන් ද සිල්වා -පාඨලී චම්පික රණවක


-පාඨලී චම්පික රණවක

මහාචාර්ය නලීන් ද සිල්වා ඇමරිකාවේ දී අභාවප්‍රාප්ත වූ බව වාර්තා විය. එතුමා තම දූ දරුවන් සහ මුනුබුරන් අතර ජීවත් වෙමින් සිටිය දී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව ද දැනට වාර්තා වී තිබේ. මෙය එක්තරා ආකාරයක මේ රටේ උගත් මධ්‍යම පන්තිය මුහුණ දෙන ඛේදවාචකය පෙන්වා දෙන සිදුවීමක් ලෙස සැළකිය හැකිය. එය තම දූ දරු මුණුබුරු මිණිබිරියන් රටෙන් විදෙස්ගත වීම හේතුවෙන් දෙමාපියන්ට තම මව්බිම තුළ ජීවත්වීමට හෝ මියයාමටවත් අයිතියක් නැති කාළකණ්නි යුගයකට අප පත්ව ඇති බව ය.

මට මුලින් ම මහාචාර්ය නලින් ද සිල්වා සම්මුඛ වන්නේ 1985 වසරේ දී යැයි සිතමි. විද්‍යාත්මක චින්තනය පිළිබඳව එතුමා සහ මාහාචාර්ය කාලෝ ෆොන්සේකා අතර විවාදයක් සංවිධානය කිරීමට අප විශ්වවිද්‍යාලය විසින් කටයුතු කළ අතර, දෙදෙනාට ම ආරාධනා කිරීමේ කාර්යය මා වෙත පැවරී තිබිණ.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා හමුවීම සඳහා උදෑසන ම පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර, ඊට හේතුව වූයේ උදේ රැයින් ම රෝගීන් පරීක්ෂා කිරීමේ කටයුතුවල එතුමා නිරත වන බැවිනි. උදෑසන 7.30 වන විට කොළඹ වෛද්‍ය පීඨය වෙත ගිය මා දුටුවේ මහාචාර්ය ෆොන්සේකා දිගින් දිගටම රෝගීන් පරික්ෂාවේ යෙදී සිටින ආකාරයයි. බොහෝ කාලයක් රෝගීන් විමසමින් සිට, ඒ කාලය අවසන් කළ මහාචාර්යවරයා කොළඹ වෛද්‍ය පීඨයේ දේශන සඳහා යාමට සූදානම් වද්දී, මම අදාළ ආරාධනය එතුමා හමුවේ තැබීමි.

එතුමා අපගේ ආරාධනය පිළිගත් අතර, ඔහුගෙන් මා දුටු විශේෂිතම කාරණය වූයේ ඉතා ම භක්ත්‍යාදරයෙන් සහ සැළකිල්ලෙන් යුතු ව නොමිලේ ම සිය සේවාව රෝගීන් වෙත ලබා දීමට තරම් මානුෂීය ව කටයුතු කිරීම ය. මෙය වර්තමානයේ ඔහුගෙන් උගත් ඇතැම් වෛද්‍ය මහාචාර්‍යවරුන් සමග සංසන්දනය කරනු වටී.

ඉන් පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය වෙත මා යන විට මහාචාර්ය නලීන් ද සිල්වා දේශනයක් සිදු කරමින් සිටි අතර, දේශනය අවසානයේ මා ඔහුගේ කාර්යාලය වෙත ගොස් අදාළ ආරාධනාව සිදු කළෙමි. මගේ ආරාධනාව පිළිගත් ඔහු නියෝගයක ස්වරයෙන් සඳහන් කළේ එකී විවාදය තීරණයක් වනතුරු පවත්වා ගෙන යා යුතු බව ය. එනම් විවාදයෙන් ජයග්‍රහණය ලබා ගත්තේ මහාචාර්ය නලීන් ද සිල්වා ද, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද යන්න තීරණය වන තුරු විවාදය අවසන් නොකර පවත්වාගෙන යා යුතු වන බව ය.

නියමිත දින සවස 5.00 ට පමණ මොරටු විශ්වවිද්‍යාලයේ දේශනාගාරයක දී ආරම්භ වූ විවාදය පසුදා පහන් වන තුරු පැවැති අතර, දර්ශනය සහ විද්‍යාත්මක චින්තනය සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් මෙහිදී විවාදයට බඳුන් විය. මහාචාර්යවරුන් දෙදෙනාගේ විවිධ අදහස් සඳහා සවන් දීමට පැමිණ විශාල පිරිසකට හැකියාව ලැබිණ. විවාදය අවසාන භාගයේ දී, මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසා සිටියේ රෝගීන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ප්‍රතිකාර සහ ඖෂධ අපේක්ෂාවෙන් රැඳී සිටින බැවින්, මහාචාර්ය නලීන් ද සිල්වා වෙත විවාදයේ ජයග්‍රහණය ලබා දී විවාදය අවසන් කරන ලෙස ය. එසේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සද්භාවයෙන් පිටව ගිය අතර, මහාචාර්ය නලීන් ද සිල්වා 155 කොට්ටාව බස් රථයක නැගී පිටත්ව ගියේ ය. ඒ මහාචාර්යවරුන් දෙදෙනාගේ නිහතමානීත්වයයි. දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වා රැස්ව සිටි ශිෂ්‍යයින්ගෙන් 90% ක්ම සවස 5 සිට පැය 12 කට ආසන්න කාලයක් මේ උද්වේගකර විවාදය නරඹමින් ඊට පසුව ද විවාද කරමින් රැඳී සිටීම විශේෂත්වයකි.

මහාචාර්ය නලීන් ද සිල්වා අයත් වූයේ මේ රටේ උගත් වෘත්තික වාමාංශිකයන් අයත් ට්‍රොට්ස්කිවාදී ගුරුකුලයට ය. එංගලන්තයේ ලේබර් පක්ෂය සම්බන්ධ මිලිටන්ට් කණ්ඩායම ද මීට සමීප ය. ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය කුමාර් ඩේවිඩ්, මහාචාර්ය හේ. ශ්‍රියානන්ද, ආචාර්ය සුමනසිරි ලියනගේ සහ මහාචාර්ය අර්ජුන සොයිසා ආදී වාමාංශික විදේශ උගතුන් රැසක් මීට අයත් විය.

1980 වැඩ වර්ජනයේ අසාර්ථකත්වයත්, 1982 ජනාධිපතිවරණයෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ වාසුදේව නානායක්කාර මහත්වරුන් ලද අපකීර්තිමත් පරාජයත් සමග ම, සමසමාජ සහ නව සමසමාජ පක්ෂ මෙන් ම ඒවායේ මාක්ස්වාදී දර්ශනය ද, ප්‍රශ්න කළ යුතු විය. එහෙත් බොහෝ දෙනා මාක්ස්වාදය සහ මාක්ස්වාදී ආර්ථික දර්ශනයේ පැවැති නිලධාරීවාදය සහ වෙනත් දුර්වලතා සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළ අතර, මහාචාර්ය නලීන් ද සිල්වා එහි පත්ලෙන්ම මාක්ස්වාදය විවේචනයට ලක් කළේය.

‘මාක්ස්වාදය විද්‍යාත්මක නොවේ’ යන තර්කය ඉදිරිපත් කරමින් විද්‍යාත්මක ක්‍රම පිළිබඳ වෙනත් අදහස් දැරූ Karl Popper (Falsification), Paul Feyerabend. (Against Method) වැන්නවුන්ගේ බලපෑම තදින් ඔහු මේ සඳහා ලබාගත් අතර, සුසමාදර්ශය (Paradigm) නමැති සංකල්පය ඔහුගේ ඉදිරි දර්ශන ක්‍රියාදාමයන් දක්වා දිගින් දිගටම එක් කරගත්තේය. අධිභෞතික විද්‍යාව (සාපේක්ෂතාවාදය, ක්වොන්ටම් භෞතික විද්‍යාව) යනාදී න්‍යායන් පදනම් කරගෙන පිළිගත් විද්‍යාත්මක චින්තනය ඔහුගේ දැඩි අභියෝගයට ලක් වූ බව මතක් කළ යුතුය.

එය එවක ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ලංකා සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සහ ජනතා විමුක්ති පෙරමුණ ද ආධිපත්‍යය දැරූ මාක්ස්වාදී චින්තන ධාරාවට එල්ල කළ සැබෑ දාර්ශනික අභියෝගයක් විය. කොළඹ විශ්වවිද්‍යාලයේ ‘ගවේෂකයෝ’ ශිෂ්‍ය කණ්ඩායම සහ ‘චින්තන පර්ෂදය’ එය සංවිධානාත්මකව ඉදිරියට ගෙන ගියහ.

මහාචාර්ය නලීන් ද සිල්වා විසින් ඉන්පසුව අතිශය තීරණාත්මක දාර්ශනික වෙනසකට රට යොමු කරමින් ‘මගේ ලෝකය’ නමින් පොතක් නිකුත් කෙරුණි. ඔහු ප්‍රධාන කරුණු දෙකක් මගින් එතෙක් පැවැති මතවාද 2 ක් අභියෝගයට ලක් කළේ ය.

1. අප අත් විඳින යථාර්ථය වාස්තවික නිරපේක්ෂ එකක් නොවන අතර, එය අපගේ පංචේන්ද්‍රිය හා මනස විසින් නිර්මාණය කරන සංකල්පවලට සාපේක්ෂ වන බවය. මෙය එක්තරා දුරකට යුරෝපයේ පශ්චාත් නූතනවාදී චින්තනයේ මතවාදවලට සමාන්තර අදහසකි. ඔහු ඒ සඳහා සාපේක්ෂතාවාදය හා ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධ කෝපන්හේගන් කියවීම ආදියෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ලබාගෙන තිබිණ.

2. අප සතු කරගන්නා දැනුම වනාහී අපගේ පංචේන්ද්‍රියන්, මනස හා සංස්කෘතියට අනුරූපව ඒවා පදනම් වූ සූසමදර්ශයේ නිර්මාණ බව ඔහු පෙන්වා දුන්නේය. පවතින විද්‍යාව බටහිර විද්‍යාවක් බවත්, යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය මත ගොඩ නැගුනක් බවත් ඔහු ප්‍රකාශ කළේ එකී දැක්මට අනුකූලව ය.

මහාචාර්ය නලීන් ද සිල්වාගේ මෙවැනි දාර්ශනික අදහස් පිළිබඳ අපට විවේචන පැවති බව නොරහසකි. විශේෂයෙන් ම ඔහුගේ චතුස්කෝටික තර්කය හා බුදු දහම පිළිබඳ ප්‍රකාශන අතව විසංවාදයන් පැවතිණි.

නලීන් ද සිල්වා මහත වඩාත් ප්‍රචලිත වූයේ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයක් පිළිබඳව අදහස් දැක්වීම නිසා ය.

1983 න් පසු උතුරේ බෙදුම්වාදී සන්නද්ධ ක්‍රියාවලිය, ඉන්දියාවේ මැදිහත් වීම, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ මර්දනකාරී වැඩපිළිවෙළ ආදිය හේතුවෙන් නව දේශප්‍රේමී ක්‍රියාවලියක් සමාජය තුළ මතුවෙමින් පැවතිණ. එයට ‘මව්බිම සුරැකීමේ ව්‍යාපාරය’ හරහා නායකත්වය දීමට ජවිපෙ හා සිවිල් පුද්ගලයින් ඉදිරිපත් විය. එහි මහාචාර්ය නලීන් ද සිල්වා ද විය. පසුව එයට දාර්ශනික හා දේශපාලනමය වශයෙන් දායක වූ මහාචාර්ය නලීන් ද සිල්වා, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පමණක් නොව, මහාචාර්ය සුනිල් ආරියරත්න, නන්දා මාලිනී වැන්නවුන්ට ද, අණ්ඩුවේ භීෂණය ඉදිරියේ මෙන්ම ජවිපෙ සන්නද්ධ අංශය ඉදිරියේ රටින් පිටවන්නට සිදුවීම ද, අමතක කළ නොහැක.

80 ගණන්වල මාක්ස්වාදීන්ගේ කියවීම වූයේ ප්‍රභාකරන් පීඩිත වර්ගවාදය නියෝජනය කරන නිසා එය පීඩක සිංහල ජාතිවාදයට වඩා ප්‍රගතිශීලී බව ය. එහෙත් රෝහණ විජේවීර විසින් ලියන ලද ‘ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ යන කෘතියෙන් බෙදුම්වාදය සමාජවාදයට බාධා පමුණුවන්නේ නම්, දෙමළ සන්නද්ධ බෙදුම්වාදී අරගලය ප්‍රතිගාමී සමාජ ව්‍යාපාරයක් ලෙස විස්තර කෙරිණි.

දෙමළ ජනයාට දෙමළ වීම නිසාම තිබූ ප්‍රශ්නය කුමක්ද? යන්නට පිළිතුරක් ලෙස වරක් කුමාර් පොන්නම්බලම් මහතා ප්‍රකාශ කළේ දෙමළ ජනයා නැගී සිටින්නේ දුක් ගැනවිලි නිසා නොව ජාතික අභිලාෂයන් නිසා බවය. මෙය නලීන් ද සිල්වා මහතා විස්තර කළේ දෙමළ වෙල්ලාලයින්ගේ ප්‍රශ්නය ලෙස ය. එක්තරා කාලයක දිවයින පුවත්පත හරහා සහ වෙනත් සංවිධාන හරහා ඔහු මේ අදහස් ප්‍රචලිත කළේය. ඔහුගේ දේශපාලනික කියවීම් පිළිබඳ අපට පැහැදිලි විවේචන තිබිණි.

ඔහු කරගත් බරපතලම අපරාධය වන්නේ රාජපක්ෂලාගේ පාදඩ දේශපාලනය ඔහුගේ සාපේක්ෂතාවාදය, ක්වොන්ටම් යාන්ත්‍රණය යන දර්ශනවාද ඔස්සේ පෝෂණය කරමින් එකී ජාතික මංකොල්ලකරුවන්ට ජාතික මුහුණුවරක් දැන හෝ නොදැන ලබා දීම ය.

ප්‍රභාකරන් පැරද්වීමෙන් පසු රාජපක්ෂලා කළ කී දෑ ගැන නලීන් ද සිල්වා මහතාට විවේචනයක් නොවීය.

කෙසේවෙතත්, මහාචාර්ය නලීන් ද සිල්වා නිසා රාජපක්ෂලා ලබාගත් ඡන්දයක් නොමැති බැවින්, ඒ ගැන ඔහු මත වැරදි පැටවීම එතරම් සුදුසු නොවන බව ද ප්‍රකාශ කළ යුතුය.

අවසාන වශයෙන් කිව හැක්කේ මාක්ස්වාදය හා බටහිර ආකල්පවල ආධිපත්‍යය දැරූ අප විශ්වවිද්‍යාල සමාජයට මහාචාර්ය නලීන් ද සිල්වා විසින් බරපතල චින්තනමය පිපීරීමක් සිදු කළ බව ය. ජාතිකවාදී චින්තන ප්‍රවාහයක් නිර්මාණය කිරීමට කටයුතු කළ බව ය.

අද අපගේ වගකීම වන්නේ ජාතිකවාදී මතය හා එක් වූ වසලයින්ගෙන් හා ජාතික මංකොල්ලකරුවන්ගෙන් ජාතික ව්‍යාපාරය මුදාගෙන මේ රට ප්‍රබුද්ධ ජාතික මතවාදයක් කරා ගෙනයමින්, එමගින් අප රට පෙලන බංකොලොත් බවින් මුදා ගැනීම ය.

Share: