සිංහල ය බෞද්ධ ය වෘෂණ දෙක සහ මහාචාර්ය නලින් ද සිල්වා


සිංහල ය බෞද්ධ ය වෘෂණ දෙක සහ මහාචාර්ය නලින් ද සිල්වා

-කුමාර හෙට්ටිආරච්චි

සිංහල ය බෞද්ධ ය වෘෂණ දෙක........

මේ වසරකට දෙකකට ඉහත මා ලියූ කවියක කොටසක්....

ඒ කවිය මුහුණු පොතට දමා විනාඩියක් දෙකක් තුළ මෙසෙන්ජරයෙන් මා ඇමතූ නලින් ද සිල්වා මහාචාර්යතුමා බොහෝ කෝපාවිශ්ට ව මට බැණ වැදුණා මතක ය.

" කුමාර.... ඔයාගේ කවි මං කියවන්නේ දශක කීපයක් තිස්සේ.... ඒත් අද ඔයා ලියා ඇති කවියෙන් සිංහල බෞද්ධ වෘෂණ දෙකක් ගැන කියා තිබෙනවා.... සිංහල බෞද්ධ කමට ගැරහීමට ඔයාට කිසි ම අයිතියක් නෑ...."

එතුමෝ ගුගුරති.

දත්කූරු කමින් මට බැණ වදිති.

මම ඉතා සාවධාන ව අසා සිටියෙමි.

ස්වකීය කෝපය ශූන්‍ය ය තෙක් පිටකොට එතුමා නිවී පහන් පසු මම කතා කළෙමි.

" සර්.... මම මගේ කවිය කිසිදාක කිසි ම දේසපාලුවෙකුගේ දෙපතුල ළඟ තබා තඹ දොයිතුවක් වත් නොගත්තා සේ ම තනතුරු තානාන්තර නොගත්තා සේ ම .... සිංහල බෞද්ධ කමටත්.... දෙමළාගේ දමිල හින්දු බවටත්.... මුසල්මානුවාගේ ආගම ඇදහීමටවත් කිසිදා ගරහන්නේ නැහැ.... අද කවිය මං ලිව්වේ සර්.... සමහර සිවුරු පොරවා ගත් බත් බැලයන් චීවරයටත් වටාපතටත් මුවාවෙමින් කරන නොපනත් කම් දැක්කා ම ඇති වූ කෝපයෙන්.... දේවදත්ත ගල් පෙරළන්න ඕන මුන්ට යි.... උන් සිංහල බෞද්ධයාගේ වෘෂණ දෙකත් විකුණාවි කියලයි මගේ කවියෙන් මං ලිව්වේ........."

එතුමෝ බොහෝ සාවධාන ව අසා සිටියහ.

නිහඬ ව දුරකථනය විසන්ධි කළහ.

විනාඩි කිහිපයක ඇවෑමෙන් යළිත් එතුමෝ මා ඇමතූහ.

" කුමාර.... කවිය ලස්සන යි..... අපි හමුවෙමු...."

ඉතා හෘදයාංගම ලෙස එතුමෝ මට සුබ පැතූහ.

මම පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ උපාධිය හදාරන කාලයේත් හිටු කියා කවි ලිව්වෙමි.

එකල එතුමෝ කෝට්ටේ නාග විහාරයේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ පංසලට අනුබද්ධ ව " කාලය " නම් සඟරාව ප්‍රකාශයට පත් කරමින් සිටියේ ය. මා හිතමිත්‍ර ගෙවිඳු කුමාරතුංග ද ඒ වෙනුවෙන් දරදිය අදිමින් සක්‍රිය ලෙස දායක වී සිටියා මතක ය.

මා ලියූ කවි වරින් වර " කාලය " සඟරාවට තැපැල් කළෙමි.

ඒ කවි කාලය සඟරාවෙහි පළ කළ මහාචාර්යතුමා මගේ ඉමදුව, කෝදාගොඩ, මාරගහවත්ත ලිපිනයට ලියුමක් ලියා එවීමට තරම් කාරුණික විය.

එතුමා මට එවූ ලියුමක මෙසේ තිබුණා මතක ය.

" කුමාර.... ඔබේ කවි සුවිශේෂී යි.... ප්‍රාණවත්.... ඒ වගේ ම හරවත්.... මම ඔබේ කවිය අගය කරනවා...."

එසේ ම එතුමා " මගේ ලෝකය " පොත ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ ස්වකීය අත්සන සහිත ව මට පිටපතක් තැපෑලෙන් එවීමට ද කාරුණික වූහ.

ආදරණීය විරල ප්‍රාඥයාණනි.... ඔබතුමන්ට සුබ ගමන්....

සංසාර ගමනේ මතු දාක යළි අපි හමුවුණොත්.... එදාටත් උල්කාපාතයක් මතුපිට හෝ.... සරළ සමීකරණයක් අසළ ම කවියක් ලියාගෙන මං එන්නම්..... ❤🙏❤

කුමාර හෙට්ටිආරච්චි
Share: