'මහාචාර්ය' නලින් ද සිල්වා මට බලපාපු හැටි - අමිත් ලියනගේ


මෙහි 'මහාචාර්ය' නලින් යනුවෙන් මා දක්වා ඇත්තේ ඔහු හා මා අතර ගනුදෙනුව තිබුණේ ඔහු මහාචාර්ය ධුරය දැරූ කාලයේ නිසයි. නලින් ද සිල්වා මහත්මයා මට පුද්ගලිකව මුලින්ම මුණ ගැහෙන්නෙ 2006 දී. ඒ 'දැයේ මුරදෙවි අපේ ගුරුවරු' නමින් මාතර බෝධියේ පැවැත්වුණු දේශනයෙදි. ඊට අවුරුදු 4කට විතර කලින් ඒ කියන්නෙ මට අවුරුදු 19දි වගේ කාලෙදි තමයි මම නලින්ද සිල්වා මහත්මයා අඳුනගන්නෙ. ඒ ඔහුගෙ ලිපිවලින්. උසස්පෙළ විද්‍යා විෂයයන් හදාරන්න ගියාම ගත්තු 'විදුසර' පත්තරෙන්. ඉන්පස්සෙ දිවයිනේ 'දැක්ම' ලිපි මාලාවෙන්. ඒ කාලෙ පළවුණු ලිපි සියල්ලම අදටත් මං ගාව ආරක්ෂා වෙලා තියෙනවා. විදුසරේ 'අපේ ප්‍රවාද' තමයි මගේ සිතීමේ රටාව මුල්වරට ලොකු වෙනසකට ලක් කළේ. ඒක දරුණු ඇබ්බැහියක් දක්වා වර්ධනය වුණා. බටහිර විද්‍යාව ප්‍රවර්ධනය කරන පත්තරේකින්ම ඒ විද්‍යාව විවේචනය කරමින් ලිපි පළවීම මුලින් මට පුදුමයක් වුනා. ඇත්තටම ඒ ලිපිවලින් තමයි මම බුදුන්, කාන්ට්,කාල් පොපර්, අල්තුසාර්, ෆුකුයාමා, ජිජැක්, හයිසන්බර්ග්, මාක්ස්, අයින්ස්ටයින් වගේ පුද්ගලයන්ගේ දර්ශනයන් ගැන ගැඹුරින් කල්පනා කරන්න සහ කියවන්න පටන්ගත්තෙ. ඒ කාලෙ ඒ මහතාගෙ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී දර්ශනය ගැන මම ඉතාම ආශක්තවයි හිටියෙ. 2006 මුණ ගැසුනු වෙලාවෙ මේ සියල්ල ගැන මම කරපු රචනාවක් ඔහුගෙ අතටම දුන්නා. ඔහු ඒක කියවන්නම් කියල බාරගත්තා. දිශාන් ජයසූරිය තමයි මාව අඳුන්වල දුන්නේ. ඒ මුණගැසීමෙදි මම එතුමා එක්ක කතාවුනේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී දර්ශනයත් එක්ක අපේ සංගීතය සහ එහි සංකල්ප වර්ධනය කරන්නෙ කොහොමද කියන දේ. එහිදී එතුමගෙ යෝජනා කිහිපයක් ගැන අපි කකාකළා. ඉන්පස්සෙ චින්තන පර්ෂදයේ සාමාජිකයෙක් විදියට දිගටම හිටියා. කොළඹ ආවට පස්සෙ අපි මාසෙකට සැරයක්වත් චින්තන පර්ෂදයේ රැස්වීම්වලදි මුණගැහුණා. කැලණියෙ පට්ටිය හන්දියේ පන්සලේ හවස් වරුවල, දිශාන් ජයසූරිය, සමන්ත ප්‍රියදර්ශන,නෙම්සිරි ජයතිලක වගේ අයත් එක්ක එකතුවෙලා සංවාද කරලා අපි පිටත්වෙන්නෙ හවස්වෙලා. අන්තිමට එතුමායි අපියි ගෙදර යන්නෙ පන්සලෙන් දෙන තේ එකත් බීලා..ඔහු බොහොම සරල විදියට ජීවත්වුණ කෙනෙක්. එතුමා ප්‍රසිද්ධ දේශනවල කතාකරද්දි මුරණ්ඩු ස්වභාවයක් පෙන්නුවත් අපිත් එක්ක සංවාද කළේ බොහොම සංයමයෙන් සහ නිවුණු ස්වරයකින්.

ඉතිං එතුමාගේ දර්ශනය ගැන දිගින් දිගටම උනන්දු වුනා. ඒ දර්ශනය මගේ ජීවිකයට බොහොම බලපෑවා. හිතන විදිය පමණක් නෙවෙයි ලියන කියන විදියටත් එතුමාගේ රචනා ශෛලිය බලපෑවා. ඒ සියල්ල ගැන මම වර්තමානයේ දරන ආස්ථානය වෙනස් වුණක් ඔහු මා තුල ඇති කළ චින්තන විප්ලවය ගැන අදටත් තියෙන්නෙ ගෞරවයක්. ඔහු මේ සියල්ල කළේ නැතිනම් බටහිර දැනුම විවේචනය කළේ ඒ දැනුමෙන් යා හැකි ඉහළම සුදුසුකම් ලබාගෙනයි. නැතුව ඒවා හැදෑරීමකින් තොරව කළ හුදු නූගත් විවේචන නෙවෙයි.
නලින් ද සිල්වා මහත්මයාගේ දර්ශනය හැදෑරීමෙන් පස්සෙ මට ඊළඟට ඇතිවුණු ගැටළුව තමයි ඔහුගේ තර්කනය බිඳහෙලන්න කිසියෙකුටත් නොහැකිවුණාද කියන එක. ඉන්පස්සෙ මම ප්‍රතිවාදීන්ගේ තර්කනයන් හදාරන්න පෙළඹුනා. එක්ස් කණ්ඩායම, කාලෝ, බාහු වැන්නන්ගෙ මත විශේෂ වුණා. එක්ස් කණ්ඩායමේ දීප්ති, නිර්මාල්, රොහාන් ආදීන්ගේ මූලික අරමුණක් වුණේ නලින්ගේ තර්කනය බිඳ හෙළීම බවයි මට හැඟුණේ. ඒ කාලෙ මවුබිම එක්ක බෙදාහැරපු පෙරදිග සුළං අතිරේකය, මාතොට සඟරාව වගේ ලේඛන ආකර්ශණීය විදියට ඒක කළා. මේ පහුගිය දවස්වල නලින්ට අපහාසාත්මකව, අසැබි විදියට, අශිෂ්ට විදියට, නූගත් විදියට බැණවැදුනු කිසිවෙක්ට මේ ශාස්ත්‍රීය ශික්ෂණය තිබුණෙ නැහැ. තර්කයට තර්කයෙන් පිළිතුරු දෙනු මිස පුද්ගල අපහාස, අවතක්සේරු කිරීම්, අසැබි වචන වලින් දමා ගැසීමෙන් තර්කය බිඳ හෙ⁣ළිය නොහැකියි.

එතුමා මේ රටේ දේශපාලනයට, සිංහල බෞද්ධ ජාතිකවාදයට කළ දායකත්වය ඉතාම ඉහළයි. උතුරු නැගෙනහිර ගැටලුවට යුද්ධයෙන් පිළිතුරු දිය යුතු බවට ඔහු දිගින් දිගටම දැරූ මතය ජයගත්තා. ඔහුගේ දර්ශනයේ අග්‍රඵලය තමයි රාජපක්ෂ දේශපාලන කඳවුරේ නැගීම සහ පරිහානියෙන් පෙන්නුම් කළේ. ඔහුගේ දර්ශනයෙන් වාසි ගත්තෙ තක්කඩි සහ අවස්ථාවාදී දේශපාලනඥයන්. ඔහු ඊට දැනුවත්ව හෝ නොදැනුවත්ව සහාය දුන්නා. විවිධ විවේචන තිබුණත් පනස්හයේ දරුවන්ගේ දිගුවක් ලෙස ගෝඨාභය රාජපක්ෂ, චන්න ජයසුමන, පාඨලී, අතුරලියේ රතන හිමි, ඥාණසාර හිමි, කරූ පරණවිතාන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සරත් වීරසේකර ආදී ජාතිකවාදී කඳවුරේ බොහෝ දේශපාලනඥයන් ඍජුව සහ වක්‍රව නලිනියානු චින්තනයේ නිෂ්පාදනයි. මේ සියල්ලගේම න්‍යායාචාර්යවරයා මෙන්ම මෙහෙයුම් බලවේගය නලින් ද සිල්වා මහතා බවයි මගේ හැඟීම.

මේක අතුරු කතාවක්. 2009 වර්ෂයේ රෝහණ බැද්දගේ මහත්මයාට අවුරුදු 75ක් පිරීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරන්න අපි මූලික වුණා. 'සසඳ නිර්මාණ කේන්ද්‍රය' බිහි කරගෙන බැද්දගේ මහත්මයා සභාපති ලෙසත් මම ලේකම් ලෙසත් කටයුතු කළා. මේ වෙනුවෙන් කරපු සාහිත්‍ය සංග්‍රහය සංස්කරණය කළේ මම. ඒකට ගුණදාස අමරසේකර, ජයලත් මනෝරත්න, දිලුප් ගබඩාමුදලි, නවරත්න ගමගේ ආදී විශාල පිරිසක් සොයාගෙන ගොස් ලිපි ලියවාගන්න මට හැකිවුණා. නලින් ද සිල්වා මහත්මයත ලිපියක් ඉදිරිපත් කළ යුතු බව මගේ අදහස වුණා. මම එතුමාට කීපවරක් ඇවිටිලි කළත් එතුමා කිවුවෙ සංගීතය ගැන ලියන්න තරම් විෂය පිළිබඳ හැදෑරීමක් නැති බවයි. එතුමාගේ දර්ශනය ඇසුරෙන් සිංහල සංගීතය කෙසේ විය යුතුද යන්න ගැන කතාකරන්න මෙය හොඳ අවස්ථාවක් බව කියා මහරගම නිවසටත් ගිහින් ඇවිටිලි කළාම අවසානයේදී මේ ලිපිය ලියා දුන්නා. මා දන්නා හැටියට සංගීතය ගැන එතුමා ලියපු එකම රචනාව මෙය වෙන්න ඕන. ඊට කලින් අමරදේව, සරච්චන්ද්‍ර ආදීන්ගේ කලා භාවිතාවන්, රොබට් රෙඩ්ෆීල්ඩ්ගේ චූල සම්ප්‍රදාය සහ මහා සම්ප්‍රදාය පිළිබඳ අමරදේවයන්ගේ මතය විවේචනය කළා.

පසු කාලීනව මට චින්තන පර්ෂදය සහ නලින් ද සිල්වා මහත්මයා සමග ගනුදෙනුව අඩු වුණා. නමුත් අහම්බෙන් ෆේස්බුක් ලිපි කියවන්න ලැබුණා. ඔහු තාරකා භෞතික විද්‍යාව, ගණිතය, ⁣විශ්වවේදය ආදී විෂයයන් පිළිබඳ ලෝකය පිළිගත් ඉහළම අධ්‍යාපන ආයතන වල ඉගෙනගත්තු උගතෙක්. නමුත් ලංකාවේ ඔහු ඉදිරිපත් කළ දර්ශනයට ලැබුණු පිළිගැනීම ගැන අවසාන කාලයේ ඔහු හිටියේ කළකිරීමකින් බවයි පෙනුනේ. නමුත් ඔහුට ඔහුගේ දර්ශනයේ අග්‍රඵලය 2019 දි ඇස් පනාපිටම දකින්න ලැබුණා. එතුමා සිංහල බෞද්ධ ඥාණවිභාග විෂයයේ හිටපු අග්‍රගණ්‍යයම විද්වතා බව අපට අවිවාදයෙන් පිළිගත හැකියි.
පහළින් තියෙන්නෙ එතුමා මගේ ඉල්ලීමට ලියූ ලිපිය.

(ලිපිය හොයල දුන්නු ඉනෝකා අසන්තිටත් ස්තුතියි.)
පසු සටහන - 2006 මාතර පැවැත්වුණු සම්මන්ත්‍රණයේදි නලින් සර් සහ අපි ඉන්න ඡායාරූපයක් Tharaka Bamunuarachchi සහෝදරයා එවා තිබෙනවා. පිටුපසින් ඉන්නෙ තාරක සහ මමයි.
Share: