ආචාර්ය නලින් ද සිල්වා මහතා ගැන පැරණි කතා - සරත් මල්ලියාවඩු


- සරත් මල්ලියාවඩු

ආචාර්ය නලින් ද සිල්වා මහතා ගැන පැරණිම මතක ඇති අයෙකු ලෙස මා හඳුන්වා දෙමි.
1976 වර්ෂයේ උසස් පෙළ භෞතික සහ ගණිත විෂයය ධාරාවේ සිටි අප හට නලින්
දසිල්වා මහතා ලියු භෞතික සහ ගණිත විෂයයන්ගේ ගැඹුරුම සංකල්පයක් වන සාපේක්ෂතා වාදය ගැන දිවයින පුවත් පතට ලියු ලිපි ඔස්සේ ආකර්ෂණයක් ඇති විය. මාක්ස්වාදී දේශපාලනයට සිත් ඇතිව සිටි අපට නව සමසමාජ පක්ෂයේ න්‍යයචාර්යවරයෙකු වූ එතුමාගේ සමාජවාදී අදහස් ඇති ලිපි ද කියවීමෙන් තකට තක ගැලපෙන බව පසක් විය.


එතුමා හමු වීමේ සිහිනයද ඇතිව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වී නවක වදය
විඳ අවසන් වූ පසු නලින් මහතා ගැන ජ්‍යෙෂ්ට සිසුවෙකුගෙන් විමසුවේ එතුමා
නොපෙනෙන්නට සිටි බැවින්. " ජේ ආර් ගේ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව
වික්‍රමබාහු සමග කළු කොඩි දාලා වැඩ තහනම් වෙලා තියෙන්නේ" පිළිතුර විය.
මගේ බලාපොරාත්තු කඩ විය. එහෙත් එතුමා ලියන ලිපි කියවන්නට සති අන්තයේ
නේවාසිකාගාරයේ කැන්ටිමේ කාලය ගත විය. ඇත්තවශයෙන්ම ඒ වන විට එතුමා සිටියේ
ඕස්ට්‍රේලියාවේය. බිරිඳ තමරා මහත්මියගේ පශ්චාත් උපාධිය සඳහා එහි ගොස්
තිබුනේ තාවකාලික නිවාඩු යටතේය. අපේ අවසාන වසරේදී ආපසු පැමිණි විට වැඩ තහනම් වී තිබුණි. තමරා මහත්මිය අපට ගණිත දේශනා ලබා දුනි. 1981 දී එතුමා සිළුමිණ
ඉරිදා අතිරේකයට මැද පිටු දෙක පිරෙන්නට දීර්ග ලිපියක් ලියා තිබුනේ "
මාක්ස්වාදය විද්‍යාත්මක ද" යන මැයෙනි . ආපන ශාලාවට ගොස් දෙවරක්ම ලිපිය
කියෙව්වද මාක්ස්වාදය විවේචනය කොට ලියා තිබු බොහෝ කරුණු තේරුම් ගැනීම උගහට විය. එහෙත් ලිපිය ආචාර්ය වික්‍රමබාහු ට යොමු කොට නව සමසමාජ පක්ෂයෙන් ඉවත් වීම ට ලියු ලිපියක් බව නම් වැටහිණි. එකල ටිල්වින් සිල්වා ලා සමග විශ්ව
විද්‍යාලයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට කත් ඇදපු අප ඉන් ගලවා ගත්තේ
නලින් ද සිවා මහතා එදා ලියු " මාක්ස්වාදය විද්යත්මකද ?" යන සුවිශේෂී ලිපියයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ රැකියාව ලැබී සිටි සමයේ එතුමා පිලිබඳ මා තොරතුරු ලබා
ගත්තේ එහි ඉගෙනුම ලැබූ මගේ පන්ති මිතුරන් ගෙනි. ගවේෂකයෝ සංවිධානය සහ
එතුමාගේ අපූර්ව අදහස් ගැන අපට බෙහෙවින් කුතුහලයක් තිබුණි. ආචාර්ය
ඈපාසිංහ, වි කේ සමරනායක ඇතුළු තවත් ගණිත ආචාර්ය වරු සමග ආචාර්ය නලින් ද
සිල්වා අතර මතවාදී ගැටුම් විරසකයක් තිබෙන බව මිතුරන්ගෙන් දැන ගන්නට
ලැබුණි. එතුමාගේ ජාතිකත්ව අදහස් වලින් උදම්ව සිටි අප නොවරදවාම එතුමාගේ
ඉරිදා ලිපිය කියවන්නට දිවයින පුවත් පත සොයා ගියෙමි. එවකට " කාලය" සඟරාවද
අරඹා තිබුණි. අප එයද නොකඩවා මිලදී ගෙන සෙසු මිතුරන්ටද කියවන්නට දුනිමි.
"ජාතිවාදය ( racism )" සහ "ජාතික වාදය (Nationalism )" අතර ඇති ලොකු වෙනස
අප ඉගෙන ගත්තේ කාලය සඟරාවෙනි. දිනක් අප එතුමාට තරමක් දිග ලිපියක් ලියා
එතුමාට ඇති නැඹුරුතාව දන්වා සිටි විට " කොළඹ විශ්ව විද්‍යායට පැමිණ මා
හමුවෙන්න" යයි කෙටි පණිවුඩයක් මට එතුමා තැපෑලෙන් ඒවා තිබුණි . එකල කොටි
ත්‍රස්තයින් නාදුනන තුවක්කුකරුවන් ලවා සිංහල දෙමළ විරුද්ධවාදීන් ඝාතනය කරන
සමයයි. කොටි බෙදුම්වාදයට එරෙහිව එතුමා ලිවූ ලිපි එකල ප්‍රකට සමාජ මාධ්‍යයේ
පල විය. එනයින් එතුමාටද තර්ජන තිබුණි. කොළඹ විශ්ව විද්‍යාලයේ ආපනශාලාවේ දී
මා එතුමා හමු විට කිරි තේ කෝප්පයකින් ලැබූ සංග්‍රහයද භුක්ති විදිමින් අප
මදක් කතා කෙළෙමු . නලින් මහතාගේ සහාය ලැබූ ස්වාධීන ශිෂ්‍ය සංගමය එකල කොළඹ
විශ්ව විද්‍යාලයේ ප්‍රබල ම ශිෂ්‍ය සංවිධානය විය. " අපට ගෙවිඳු ඉන්නවා"
එතුමා මට පැවසු තවත් වැදගත් කරුණක් විය. " කාලය" සඟරාවට ලිපි ලියන ලෙස
එතුමා මට ආරාධනා කළේය. . එහෙත් මට යවා ගත හැකි වුයේ කවි පන්ති තුනකින්
සමන්විත ලිපියක් පමණි. එය ජේ ආර් ගේ රාෂ්ට පාලනයට එරෙහිව ලියුවකි. එසේම එය
මාගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් මුද්‍රිත මාධ්යේ පල වූ පළමු අවස්තාව විය. එය
දුටු මගේ මිතුරෝ මට අවවාද කළහ.

නලින් මහතා වරක් ඇස් මහින්ද හිමියන්ගේ ගුණ සමරුවක් බොරැල්ලේ තරුණ බෞද්ධ
සංගම් ශාලාවේ සංවිධානය කර තුබූනි. ශාලාව අතුරු සිදුරු නැතිව පිරී තිබුණි.
සිකීම් දේශයෙන් පැමිණි ශ්‍රී ලංකාවේ මහන දම් පිරූ සිකීම් මහින්ද හිමියන්
ගැන බොහෝ අය ගෞරවනීය දේශනා පැවැත් වූ අතර නලින් මහතාගේ දේශනයේදී එතුමා

ඔප්පු කර සිටියේ ඇස් මහින්ද හිමියන් යනු 'සිකීම් මහින්ද හිමි 'නොව "සිංහල
මහින්ද හිමි " විය යුතු බවය. එසැනින් අපට වැටහුනේ එතුමා කෙනෙකුගේ ජාතිකත්වය
නිර්ණය කරන්නේ උපතින් නොව ජීවත් වන පරිසරයේ සංස්කෘතියෙන් බව තර්කානුකුලව
පෙන්වා දුන් බවයි. එය අප තුල තදින් සනිටුහන් කල සුවිශේෂී ප්‍රබල සාධකයකි..
යලිත් වරක් මා එතුමා හමුවුයේ අප සේවය කල රුපවාහිනී සංස්ථාවෙන් මා නිෂ්පාදනය කරන්නට අදහස් කල විද්‍යා වැඩ සටහනකට එතුමා ගේ සහභාගිත්වය ලබා ගැනීමටයි. එතුමා සමග විවිධ එම වැඩ සටහන් ඒ වන විටත් රුපවාහිනි සංස්ථාව නිෂ්පාදනය කලද මගේ එම විද්‍යා වැඩසටහනට අවසර නොලැබිණි. නමුත් එතුමාගේ මෝටර් රථයේ යන්නට මම අවස්තාවක් ලදිමි. රැකියාව සහ පවුලේ නොයෙක් කාර්යය බහුල අවශ්‍යතාවන් නිසා එතුමා යලි හමු වීට මට අවස්ථාවක් නොවීය. එහෙත් සෑම ඉරිදාවකම එතුමාගේ ලිපිය නොවරදවාම කියවීමි. එතුමා දන්නා අයගෙන් තොරතුරු විමසා සිටියෙමි.

අප ශ්‍රී ලංකාවේ රැකියාව හැරදා විදේශ ගත වූ පසුවද එතුමාගේ ලිපි කියවීමත්
ජාතිකවාදී පරිකල්පනුයට යොමු වීමත් අපට නතර කල නොහැකි විය. යලි ශ්‍රී ලංකාවට
පැමිණි දිනෙක එතුමා සහ තමරා මහත්මිය හමු වීමි. ඉන්පසු නලින් මහතා සහ අප
අතර සාකච්චා සිදු වුයේ මුහුණු පොතේ පණිවුඩ කොටුවේ පිහිටෙනි.
මෑතකදී ආචාර්ය අමීර් ඇක්සෙල් මහතාගේ " Finding Zero " ග්‍රන්ථය පිලිබඳ
සුම් (ZOOM ) සාකච්චාවක් සංවිධානය කොට තිබුන අතර ශ්‍රී ලංකාවේ බිංදුව
ගැනද නලින් මහතා අපුරු අදහසක් ඒ වන විටත් ජන ගත කොට තිබු බැවිනි. සිංහල බසේ
අක්ෂර වල "හල් " සංකේතය අපේ බිංදුව බව එතුමා නිර්මාණාත්මකව පෙන්වා දුන්නේය.
Finding Zero " ග්‍රන්ථය කවුරු හෝ සිංහල බසට පරිවර්තනය කරන ලෙස එතුමා
එහිදී ඉල්ලීමක් කළේය . මා එය සතුටින් භාර ගෙන ඒ බව එතුමාට දන්වා යැවීමි.
පොතේ කතෘ ගණිතඥ ආචාර්ය අමීර් ඇක්සෙල් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට
නලින් මහතාට අවශ්‍යව තිබුනද ඔහු මිය ගොස් ඇති බව දැන ගන්නට ලැබීම අපට
කනගාටුදායක ආරංචියක් විය. පොතේ සිංහල පරිවර්තනයක් ද නලින් මහතාට යැවූ අතර
එතුමාද මුදනය සඳහා සටහනක් දෙන බවට දැන් වුවද එය අභාවයට පෙර ලබා ගැනීමට
නොහැකි විය. පොතේ පරිවර්තන අයිතිය නීත්‍යානුකුලව ලබා ගැනීමට ආචාර්ය අමීර්
ඇක්සෙල් මහතාගේ බිරිඳගේ ද අවසරය ඇතුව ඇමෙරිකාවේ WRITERS HOUSE මගින්
නීතිමය අවසරය අයදුම් කලෙමි. එය තවමත් ප්‍රමාදය. පොතේ ප්‍රකාශක ලෙස ගෙවිඳු
කුමාරතුංග මහතාගේ විසිදුනු ප්‍රකාශකයෝ තෝරා ගන්නා ලෙස නලින් මහතා මට උපදෙස්
දී තිබුණි. මා පරිවර්තනය කල පොතේ කොපියක් ගෙවිඳු කුමාරතුංග මහතාට ලබා දුනෙමි.
Share: