යුගයක මඟ ලකුණ වූ පැණසර ගණිත විද්‍යාඥයා-සුජිත් අක්කරවත්ත.


- සුජිත් අක්කරවත්ත

මහාචාර්ය නලීන් ද සිල්වා ගුරුතුමාගේ ජීවිත සරසවිය...

නිදහස් සිතුවිලි පතිත වෙයි. ධර්මපාලතුමා නික්ම ගියේ ජාතිකවාදයට සරු පොළොවක් තනාය. මුනිදාස කුමාරතුංගන්ගේ භාෂා ප්‍රබෝධය 1940 දශකය සරුසාර කළේය. ඒ සමග සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රිමතානන්ගේ නිදහස් අධ්‍යාපනය ප්‍රවිෂ්ට විය. නිදහස් අධ්‍යාපන පනත සමග ජාතිමාමක භික්ෂූ දේශපාලනය පෙරට වැඩියේය. විද්‍යාලංකාර භික්ෂූ ප්‍රභවය රට දැය සමය ප්‍රබෝධයෙන් අවදි කරමින් තිබූ සමයයි. ඇන් ඇම්, පිලීප්, කොල්වින් වික්‍රමසිංහලාගේ වාමවාදී දේශපාලනයට පිළිතුරක් සේ ජාතිකවාදී ධනවාදය ඩී.එස්. සේනානායක ප්‍රමුඛ ජාතික නායකයන් පෙරට ගනිමින් තිබූ සමයයි. ඒ සමයේ ඒ දවස 1944 ඔක්තෝබරයේ 20 දාය.

දනියෙල් ද සිල්වා ගුරුතුමාගේ බිරිඳ මෙලින් පෙරේරා ගුරුතුමිය මාතාවක් වූයේ එදාය. පානදුරේ වෑකඩ ගෙදර කිරි සුවඳ හමා ගියේය. ඒ ‘නලින්’ පුතු උපන් දවසයි. තම අම්මා උගන්වන වෑකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාඨශාලාව නලින්ගේ මුල්ම ගුරුගෙදරයි. පුංචි නලින් දෙකේ පන්තියට සමත් වෙද්දී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් විය. ඒ 1953 දීය.
පානදුරේ සිට කෝච්චියෙන් පාසල් එන ඔහුට හොඳට මතකයි 53 හර්තාලය. වයසින් පොඩි වූවද මේ සමාජ උණුසුම ඉව කරන්නට ඔහු කුඩාවියේ පටන් පෙළඹුනේය. ඒ වගේම කොස් මාමාගේ (ආතර් වී.දියෙස්) දේශන අහන්න තාත්තත් එක්ක ගිය මතකයන් ජීවිත හදවතේ නොමැකෙන සටහනක් විය.

පානදුර සිංහල බෞද්ධ පුනරුදයේ කේන්ද්‍රිය භූමියයි. එමෙන්ම ලෙස්ලි ගුණවර්ධන, හෙන්රි පීරිස් වන් සමාජවාදීන්ගේ ජය භූමියද විය. එලෙසම සුසන්තා පොන්සේකා වන් ජාතිමාමක එ.ජා.ප ප්‍රභූවරුන්ගේ විජිතය ද වුණේය. පානදුර ධර්ම ප්‍රබෝධ විහාරය නලින්ලාගේ පන්සලය. තම තාත්තාගේ අයියාගේ පුතා වූ කෙසෙල්වත්තේ සීලාන්නද හිමි එම වෙහෙර විහාරාධිපතිය. පුංචි සන්දියේ පටන් ආරාම ජීවිතය ආරාමිකත්ව පිළිවෙත් හා අධ්‍යාපනය ඔහුගේ ජීවිතයට ළං විය. නවීන දැනුම සාම්ප්‍රදායික දැනුමද එකවිට එක ලෙස ලබන්නට තරම් ඔහු වාසනා ඇත්තෙක් වූයේය.

දේවාදිත්‍ය නලින් ද සිල්වා පස්වැනි පන්තියේ සිට කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුයේය. ඔහුගේ ප්‍රිය විෂයය ගණිතයයි. එය භාර ගුරුතුමා වූයේ වී.අර්සරත්නම් ය. බුදු දහම ඉගැන්වූයේ බෝගොඩ ප්‍රේමරත්න ගුරුතුමාය. ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය එක්ක හදවත මනස දෙකම එක විටම සම වැදුනේය.

“මම පුංචි කාලෙත් හිතුවේ ගුරුවරයෙක් වෙන්න. අම්මයි තාත්තයි ගුරුවරු හින්ද එහෙම හිතෙන්න ඇති. ගණිත ගුරුවරයෙක් වෙලා ව්‍යවහාරික ගණිතය උගන්වනවා කියලා මම හිතුවා. මම ඉස්කෝලෙට ආවේ පානදුරේ ඉඳන් කෝච්චියේ. ඒ කාලේ කෝච්චිය කියන්නේ හරිම රසවත් සංවාද පිරිච්ච තැනක්...”

ඔහු පස්වැනි පන්තියට පා තැබුවේ රට සමය උණුසුමෙන් තෙදවත් සමයකය. ඒ 1955 වසරය. මාක්ස්වාදීන්, ජාතිකවාදීන්, භාෂා ප්‍රේමීන් එකට එක් කළ කෝච්චිය තුළ සංවාද වාද සිතුවිලි දොරේ ගලයි. මේ දොළොස් හැවිරිදි සිසුවා මහත් ආශාවෙන් එම වාද විවාද වලට කන්දීගෙන උන්නේය. ඒ අතර සාහිත්‍ය කලා සෞන්දාර්ය කතා බහද ඇදේ. රට දේශපාලන උණුසුමෙන් තීව්‍ර වූ සමයක ඔහුගේ පාසල් දිවිය එතරම් උණුසුම් සමාජ සංවාද අතරින් ගලා ගියේය.

දැන් ඔහු සිත ගණිත විද්‍යා ලෝකයේය. විද්‍යාත්මක සංකල්ප නිගමනය සිද්ධාන්ත අතර හද මනස පිබිදුනේය. ගැටවර යොවුන් විය සමග ඔහු විද්‍යා ගණිත සංකල්ප ලෝකයේ පරතෙර සොයා යන්නට පටන් ගත්තේය.

“අපේ ගෙදර පරිසරය හරිම විනයානුකූලයි. නීති රීති තිබුණේ නෑ. අපි පිළිවෙලට හුරුවෙලා හිටියා. මම පුංචා කාලේ හිටන් පිළිවෙලට වැඩ කරපු කෙනෙක්. අපේ තාත්තා සිංහල සාහිත්‍ය ගුරුවරයෙක්. මට ඒ බලපෑම තිබුණා... ඉතින් තාත්තා කාල සටහනක් අපිට දීල තිබුණා. උදේ නැගිටින්න, ගෙදර අතුපතු ගාන්න... වතුර පුරවන්න... සෙල්ලම් කරන්න... මේ හැමදේම ඒකේ තිබුණා.”

පිරිමි දරුවන් පස් දෙනෙකුද ගැහැණු දරුවන් තිදෙනෙකුද වූ තම දරු පිරිවර මනා පුහුණුවකින් සිල්වා පියාණන් තැනුවේය. ඔහු එ.ජා.පයේ ප්‍රබල හිතවතෙකුද විය. එ.ජා.ප යනු දේශීයත්වයේ පක්ෂයයි. මෙවන් මැද පන්තියක නිවසක උපන් නලින් දිවිය මේ පරිසරය තුළ විය.

“රාජකීය විද්‍යාලය හරිම ලිබරල් (නිදහස්) තැනක්. අපිට ඉතිහාසය, ලතින්‐පාලි ඉගෙන ගන්නත් පාසල තුළ ඉඩ තිබුණා....”
මේ යුගය 1960 දශකයයි. නලින් දැන් නාඹර යෞවනයේය. නාඹර යෞවනයට රැඩිකල් දේශපාලනය මුහු වෙන්න පටන් ගත්නේ මේ කාල සමයේදීය. පානදුරේ බෞද්ධ සිංහල උණුසුමද, මාක්ස්වාදය, දුම්රියේ හරවත් සංවාද අතර රාජකීය විදුහලේ දැනුමද එක් විය. නලින් ද සිල්වාගේ ව්‍යවහාරික ගණිත හිසට මාක්ස්වාදයේ තර්ක විතර්ක හරියටම ගැලපුනේය. එබැවින් ඔහු උසස් පෙළට ප්‍රවේශ වන විට ඒ රතු තාර්කික ලෝකයට ඉබේටම වගේ ඇදී ගියේය. තාත්තා අම්මා හා පන්සල වෙතින් ලද අපේ මුල් යටපත් විය. මේ අතර ලාංකික සමාජවාදීන් උත්තර බලාපොරොත්තු වලින් උන්මාදනීය විය. ඒ පිල් බෙදී සිටි මෙරට වාමාංශික පක්ෂ තුනේ එක්සත් වීමයි. ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ විප්ලවකාරී සම සමාජ පක්ෂ (මහජන එක්සත් පෙරමුණ) 1962 වාමාංශික එක්සත් පෙරමුණ නමින් එක්වූහ. ඒ උන්මාදනීය රැළියට රාජකීය විදුහල් උසස් පෙළ සිසුවා වූ නලීන් ද සිල්වා ද එක් විය.

එතැනින් පටන් ගත් වාම ආගමනය ඔහු 1964 සම සමාජ පාක්ෂිකයෙකු කොට තරුණ අංශය හා යා කළේය. වමට එක් වූ තරුණ නලින්ගේ සමීපතම වාම නායකයා වූයේ වාසුදේව හා වික්‍රමබාහු දෙපළය. උත්තර සමාජවාදී රාජ්‍යයක සිහින පොදි බැඳ ඔහුන් සමග මේ යෞවන මානවකයා බොහෝ දුර ඇවිද ගියේය. පත්තර විකුණමින්, පෙළපාලි යමින් සිසු සගයන් ගොඩ නගමින් වාම පූර්ණ කාලිනයෙකු ලෙස කටයුතු කළේය.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඔහු සරසවි වරම් ලැබූයේ පේරාදෙණිය සරසවියටය. නලින් ද සිල්වා සරසවි සිසුන් අතර මවිතයක් විය. මතක ශක්තියෙන් අගතැන්පත් ඔහුගේ ස්මරණ හැකියාව ආශ්ච ර්්‍යයකි. පැය තුනකට සකසා තිබෙන භෞතික, විද්‍යා හා ගණිත පත්‍ර වලට පැය එක හමාරකින් පිළිතුරු සපයන්නට තරම් ඔහු හපනෙකු විය. මේ බුද්ධිමය තේජස අනාගත මහා ප්‍රාඥයෙකුගේ ප්‍රභාව යොවුන් වියේ මතු කළ අනාගත පූර්විකාවකි.
1967 දී උපාධිය සමත් හෙතෙම, 1969 දී ශිෂ්‍යත්වයක් ලැබ එංගලන්තයට ගියේය. එහි දී සෛද්ධාන්තික තාරකා භෞතික විද්‍යාව තම ආචාර්ය උපාධිය සඳහා හදාළේය. වාම උණුසුම තාර්කික බව ඔහු එංගලන්තයේදීත් සෙව්වේය. එකල ‘එඩ්ගාන්’ විසින් නායකත්වය සැපයූ එංගලන්ත ට්‍රොස්කිවාදි පක්ෂයට බැදී ඔහු කටයුතු කළේය.

“ජාතික දහරාව නැති වෙලා ගිහින් තිබුණේ... අනික විද්‍යාව ගණිතය සංකල්ප තුළ බටහිර අනුකරණයට හොදින්ම මාවත් හුරු වෙලා හිටියේ... ඒ හන්ද මාක්ස්වාදය තමයි ඒකාලේ අළුත් සිතුවිලි සහිත සමාජ හිතකාමී සිත්වල ප්‍රාර්ථනාව වුණේ....”

ආචාර්ය නලින් ද සිල්වා යෞවනයේදිම සරසවි මානවක පරපුරේ ජනකාන්තම ගුරුවරයා විය. පේරාදෙණිය සරසවියේ ගුරුවරයෙකු සේ තම සේවාව ආරම්භ කළ ඔහුගේ ඉගැන්වීම් ක්‍රමවේද සිසුන් වසඟ කළේය. 1975 දශකයේදී ලාංකික වම තුළ නව දහරාවක් යළිත් මතු විය. ඒ නව වාම ප්‍රවණතාවයි. එහි ප්‍රමුඛයන් වූයේ වික්‍රමබාහු කරුණාරත්ත, සිරිතුංග ජයසූරිය හා ආචාර්ය නලින් ද සිල්වාය. පසු කලෙක ශ්‍රී ලංකාවේ ට්‍රොස්කිවාදි පක්ෂය දෙදරවා "නව සම සමාජ පක්ෂය” බිහි වූයේ මෙම නව දාර්ශනික එකමුතුව නිසාය. 1979 දී නලින් ද සිල්වා ආචාර්යවරයා පේරාදෙණිය සරසවියෙන් කොළඹ සරසවියට එක් විය. එහිදී එතුමාට ප්‍රිය විෂය ඉගැන්වීමට භාර විය- ඒ ‘ක්වොන්ටම් භෞතිකවාද යයි-’
“මේක තමයි මගේ ජීවිතයේ තීරණාත්මක පරාවර්ථනය වන තැන”

කැළණි සරසවි ඇදුරු කුටියෙන් නෙත් ඈතට යොමු කළ මහාචාර්ය නලින් ද සිල්වා ගුරුතුමා එහෙම කිව්වා- මගේ සිත අපේ නාඹර සමයට දිව ගියේය- 1986 පසුසමයයි- ධනපති විරෝධය,නිර්ධන පන්තිය අමතකවී ගියේය- මව්බිම ගැන සිතුවිල්ලක් කාන්දු වී අපේ පරපුර කුල්මත් දේශපාලනයක නාඹරවීම ආරම්භ විය- අපේ පරපුරට පෙර පරපුරේ අයියලා ලේ දහරාවේ පිහිනා නැසී ගියෝය- විජය කුමාරතුංග ඝාතනයත් සමග සිහින සිනමාව මිය ගියේය- දස අත අඳුරය- ඒ අතරින් නාඹර අපේ සිත් හා වෙලුණු දේශපාලන උණුහුම පිරුනේ දිවයිනේ පත්තර පිටු හරහාය- ඒ මහාචාර්ය නලින් ද සිල්වා රටේම අධිපති රතු බුද්ධිමතුන් දෙදරවා සංවාද පුරන සමයයි- රතු පොත්වලට පෙම් බඳින්න සිතූ අපේ පරපුර ඒ මායාවෙන් ඇස් ඉවතට ගෙන මහාචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රඥාවන්ත තර්කනය වෙත නෙත් හෙළුවෝය- අපේ පරපුරේ ගුරු දෙවියෙකු වූ ඔහු යළිත් අතීත පද අතරට යනු ජීවිත සිහින අතර සරන මම අසා සිටියෙමි-

“....1980 නව සම සමාජ පක්ෂය ඇතුලේ මතවාදී ගැටුම් ආවා..... මාක්ස්වාදය විද්‍යාත්මක නෑ කියලා මට තේරුණා- ලෝකය දිහා විද්‍යාත්මකව බලන දාර්ශනික බව නිසා මට තේරුණා මාක්ස්වාදය තාර්කිකව දිළිදුය කියලා-”

නව යෞවන පෙළක් හා මුසු වී ගිය කොළඹ සරසවි ගණිත මහාචාර්යතුමා මාක්ස්වාදයෙන් බිඳීවෙන් විය. 1980 අප්‍රේල් වල නව සමජ පක්ෂයෙන් ඉවත් වූ නලින් ද සිල්වා ආචාර්යවරයා විද්‍යාඥයෙක් සේ සිතන්නට විය- ලෝක රටාව, මානව හැඟීම්, සිතුම් පැතුම් වටහා ගන්න ඔහු වන පොත් කළ බටහිර දැනුමට බැරි බව වැටහුනේය. යළි තම මුල් වෙත මේ ප්‍රඥාවන්ත ගුරු මනස හදවත පියමනින්නට විය. පන්සලේ පොත් අතර, බුදු වදනෙහි දර්ශනාර්ථය සහ දේශීයත්වයේ දැනුම හා සිත සිතුවිලි බඳින්න පටන් ගත්තේය. ක්වොන්ටම් භෞතිකවාදයේ සිද්ධාන්ත මගින් මාක්ස්වාදය දිළිදු බව ඔහු සිතට වැටහුනේය. අපේ දැනුම අතරින් නව දාර්ශනික වියමනක අක්මුල් සොයා සැරි සරන සිත තම සිතැඟි සොයා ගියේය. ඒ තීරක දාර්ශනික හර පෙරලියක ආරම්භය ලංකාවේ සමාජ දර්ශනවාදයේ තීරණාත්මක දාර්ශනික වෙනසක නූතන ඇරඹුම ද වූයේය. මහාචාර්ය නලින් ද සිල්වා ගුරුතුමා තම පරාවර්ථනය පද බැඳ ඉදිරිපත් කළේ 1986 දීයි.... ඒ ‘මගේ ලෝකය’කෘතියයි. මෑත කාලීන සටන් දේශපාලනය මහා බුද්ධිමය කලම්භනයේ හා දාර්ශනික නව පිවිසුමේ ආරම්භය සටහන් කළේ ‘මගේ ලෝකය’ කෘතියෙනි.

‘මගේ ලෝකය’ සමග බටහිර දැනුම් පද්ධතිය ප්‍රශ්න කිරීම ආරම්භ විය- බටහිර දැනුමට බිය වූ දේශීයත්වයේ ප්‍රාඥයින් නලින් ද සිල්වා ආගමනය සමග බිය පහව කල එළි බසින්නට විය- පනස් වසරක් පුරාම ලාංකික ජන සමාජයේ අධිපති දාර්ශනිකවාදව පැවති මාක්ස්වාදය බිඳ වැටුනේ ඔහු අතිනි. රතු බුද්ධිමතුන් දිළින්ඳන් බව වැටහිණි. බටහිර දැනුම බිදී ගොස් අපේ දැනුම කළ එළි බසින්නට විය. සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය ‘ගවේශකයෝ’ සහ ‘චින්තන පර්ෂදය’ හරහා නව නිනව්වක් සොයා ගියෝය. ප්‍රභූවන්ත සටන්කාමී සමාජශීලි සිසු සගයන් මෙතෙක් ඇවිද ගිය රතු මාවත අතහැර අපේ මාවත සොයන්න පටන් ගත්තෝය. මහ ඇදුරු නලින් ද සිල්වා කොළඹ සරසවිය තුළින් මුදා හළ දාර්ශනික ප්‍රවාහය නව සිතුම් පැතුම් ඇති පරපුරක නවාතැන්පොළ විය.අන්තවාදි රතු බලමුඵ බිදී බටහිර නග්න තාර්කිකවාදය බිඳ වැටුනේය.

මේ අපූර්ව දාර්ශනික සිත ආල සිතින් බැඳුනේ සුන්දර පේරාදෙණිය සරසවි උයනේදීය. තම සිසුවිය ‘තමාරා දරාධකුඹුර’ තම ගුරු සිතට ආදරය කියා දුන්නාය. සිසුවියකට පෙම් කිරීම උචිත නැතැයි ආචාර්ය නලින් ද සිල්වාට සිතුනේය. තිස්තුන් වියැති මේ යොවුන් ආචාර්යවරයා තම ආදරය නිල ව්‍යූහයකට ඇතුල් කළේය.

“තමන්ගේ භාර්යාවට පෙම් කිරීම වරදක් නොවෙයි නේ... ඉතින් එයා සිසුවියක් විදියට ඉද්දී අපි විවහා වුණා. එයා ඊට පස්සේ මගෙන් ඉගෙන ගත්තා....”
නලින් ද සිල්වා ගුරු පියාණන්ට තාරක දේවාදිත්‍ය, ළහිරු දේවාදිත්‍ය නමින් පුතුන් දෙදෙකු ද වේ. ඔහු දුව සුජාතා මියුසියස් පාසල් දියණියකි.

“මම දැන් සීයා කෙනෙක්. මහාචාර්යතුමා අහිංසක සිනාවෙන් මුව සරසා කීවේය. අපි සිල්වා නම අතහැරියා. ඒක බටහිර ගැති නමක්. අපේ පුතාලා දේවාදිත්‍යය වාසගම යොදා ගත්තා....”

1994 එතුමා ජාතිකවාදි දේශපාලනයට ද පිවිසියේය. ඒ ශ්‍රීලනිපය විජාතික නායකත්වයට ගොදුරු වූ නිසා බව එතුමාගේ මතයයි. කෙසේ නමුත් 1986 සිට එතුමා දාර්ශනික තලයේ සිදු කළ විප්ලවීය පරාවර්ථනය නූතන සිංහලත්වයේ ආරම්භය විය. මහාචාර්ය නලීන් ද සිල්වා තරමට විවේචනයට සංවාදයට පාත්‍ර වෙනත් ඇදුරුතුමෙකු නැත. සිතන පතන පරපුර එකඟව හෝ විරෝධීව හෝ ඔහු හා ගැටේ. සංවාද පුරති. විද්‍යාව, කලාව, දේශපාලනය, බුදු දහම, සාහිත්‍යය ආදී ඕනෑම විෂයයක් අරභයා නලින් ද සිල්වා ගුරුතුමා සතු දැනුම සැබවින්ම ප්‍රාතිහාර්යකි. එතුමාගේ මඟ ලකුණු දිගේ විත් සිංහල සමාජය යුගයක් බිහි කළේය. වත්මන බුදු දහම ජනකාන්තය. සිංහල වෙදකම, ජ්‍යෙතිෂය ජනප්‍රියත්වයේ මුදුන් තලයේය. දේශපාලනය සිංහලත්වය සොයා සිහළ උරුමය, හෙළ උරුමය හා ගමන් කොට රතු ජවිපෙය ද ජාතිකවාදයට ගෙනවිත් ඇත. කලාව සාහිත්‍යය සිනමාව දේශියත්වයට ගමන් කරන්නට විය. විලාසිතාව කවිය චිත්‍රය සේම ධනවාදයටද දේශීය වන්නට සිදුවිය. ශ්‍රීලනිපයට බණ්ඩාරනායකවරු අතැර රාජපක්ෂලා සොයා ගන්නට සිදුවිය. සිනමා තාරකා තරමට දේශීය දැනුම කියන විද්වතුන් ජනප්‍රිය විය. දේශීය දැනුමට හිනාවූ හැමටද දේශීය වී පැවැත්ම රැක ගන්නට සිදුවිය. මේ මහා ප්‍රාතිහාර්යයේ පදනම නූතන සිංහල සාමාජ දර්ශනවාදය තැනූ මහාචාර්ය නලීන් ද සිල්වාය. ඔහු තවමත් සක්‍රීයයි. දාර්ශනිකයෙකුට මුළු මහත් සමාජයක් හැසිරවිය හැකි බව යළිත් අපට පසක් කළ අපේ යුගයේ ප්‍රාඥයාය.

සුජිත් අක්කරවත්ත.
2006 ඔක්තෝම්බර් 8 ඉරු දින.
Share: