සිංහල බෞද්ධ ජන සමාජයේ උන්නතිය උදෙසා ආචාර්ය නලින් ද සිල්වා සූරීන් විසින් ගොඩනැඟූ ප්‍රවාද - සංජීව විජේසිංහ




අප දන්නා මෑත ඉතිහාසය තුළ කෙනකුගේ මරණයක දී මෙතරම් විශාල ජනකායක් සිය සංවේගය, ශෝකය විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශ කරනවා අප ඇසුදුටුවේ නැති තරම් ය. සිය ජීවිත කාලය තුළ දී තමන් කළ කාර්යභාරය වෙනුවෙන් මෙතරම් ඇගයීමක් ලබනවා දුටුවේ නැති තරම් ය. එවන් වූ ඇගයීමක් බැති සිතක් තමන් කෙරෙහි ඇතැයි එතුමන් වුව කිසිසේත් ම නොසිතන්නට ඇත. එම ඇගයීම එතුමන් ජීවතුන් අතර සිටිය දී ලැබුණානම් එය කොතරම් නම් ඔහුගේ සතුටට හේතු වන්නට තිබුණි ද? එහෙත් ලෝකධර්මතාවය ඊට වෙනස් යැයි සිතේ. එය වටහා ගැනීම අප කාටත් වැඩදායක වනු ඇත. විශේෂයෙන් ම අවංක සිතින් පරාර්ථ චර්යාවේ යෙදෙන රට, ජාතිය, ආගම වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන දෑහිතකාමීන් ඒ අවබෝධ කරගෙන සතර බ්‍රහ්ම විහරණයෙන් ම යුතුව එම කටයුතු නොපිරිහෙළා ම කළයුතු යි.

ජාතික විමුක්ති අරගලයක් සාක්ෂාත් වීමට නම් අපට අපේ ම වූ මතවාද ආකල්ප හා ආකෘතීන් තිබිය යුතු වේ. එසේ නැතහොත් අපට සිදුවනුයේ ඔවුනගේ එනම් විජාතිකයන්ගේ ආකෘති තුළ ම ක්‍රියා කිරීමට ය. එවිට අපේක්ෂිත ප්‍රතිඵල වෙනුවට අප කිසිසේත් අපේක්‍ෂා නොකළ ප්‍රතිඵල අපට අත්විඳීමට සිදුවේ. මෑත කාලයේ, එනම් 20 වන සියවස මුල භාගයේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව සිදුවූ ජාතික විමුක්ති අරගලයන්හි දී අප අනුගමනය කරනු ලැබූයේ මෙවන් වූ ක්‍රියාදාමයක් ය. මෙයට හොඳම උදාහරණය ලෙස එතුමා විසින් ගෙනහැර දැක්වූයේ එකල හා ඉන් පසුවත් ඇතිකරනු ලැබූ බෞද්ධ පාසල් ය.

එබැවින් අපගේ ජාතික විමුක්ති අරගලය සාක්ෂාත් කරගැනීමට අපට සැබැවින් ම අවශ්‍යතාවයක් වේ, නම් අප අපේ ම වූ ප්‍රවාද ඒ එක් එක් ක්ෂේත්‍ර සඳහා අප විසින් ගොඩනැඟිය යුතු බව එතුමන් විසින් අවධාරණය කරනු ලැබීමෙන් නොනැවතී සිය ජීවිත කාලය පුරාවට ම ඒ කාර්යයේ නිරත වීමට ද වග බලාගත්තේ ය.

ඒ සඳහා වූ චින්තන විප්ලවයේ සමාරම්භය සනිටුහන් වූයේ ආචාර්ය නලින් ද සිල්වා සූරීන් විසින් රචිත ‘මගේ ලෝකය’ කෘතිය 1986 වසරේ අග දී ජනගත කිරීමත් සමගම ය. එකල පාසලේ අවසන් වසරේ ශිෂ්‍යන් වූ අප ඉන් අමන්දානන්දයට පත්වූවා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එම කෘතියේ අන්තර්ගතය ඊට වසර දෙකකට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ ඇරඹි ‘ගවේශකයෝ’ සංගමයේ සාකච්ඡා වාරවලට ඉදිරිපත් කර සිසුන් සමග සංවාදයට ලක් කරන ලද කරුණු බවට කෘතිය ආරම්භයේ දී ම එතුමා සඳහන් කරයි.

එමගින් පැහැදිලි ලෙස ම ලොවට ම පොදු එකම දැනුම් පද්ධතිය ලෙස වැජබුණ‘විද්‍යාව’ බටහිර විද්‍යව ලෙස හඳුනාගනිමින් එම දැනුම් ආධිපත්‍යයට අභියෝග කරන්නට විය. බටහිර වර්ධනය වූ විද්‍යාව එකම දැනුම් පද්ධතිය නොවන බවටත් තවත් දැනුම් පද්ධති තිබුණ බවටත් තිබෙන බවටත් එය වාස්තවික දැනුම් පද්ධතියක් නොවන බවටත් ප්‍රබල මතවාදයක් ඔහු කෙරෙන් ගොඩනැඟෙන්නට විය. ඒ අනුව දැනුමේ දැනුම පිළිබඳවත් දැනුමේ සාපේක්‍ෂ බව පිළිබඳවත් එනම් දැනුම රටක ජාතියක, සංස්කෘතියට, ඉන්ද්‍රිය පද්ධතියට හා මනසට සාපේක්‍ෂ වන බවත් දැනුම පිළිබඳව අප තුළ ඇති නොදැනුම පිළිබඳවත් සමාජය තුළ කතිකාවක් ගොඩනඟන්නට විය.

ඒ සමග ම ඊට වසර හතරකට පමණ පෙර 1981 දී පමණ නැඟූ ‘මාක්ස්වාදය විද්‍යාත්මක’ දැයි කළ ප්‍රශ්න කිරීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් මාක්ස්වාදය තවදුරටත් ප්‍රශ්න කිරීමටත් සමාජ ව්‍යාපාරයක් ලෙස එය අසාර්ථක දැනුම් පද්ධතියක් ලෙසටත් වූ ප්‍රබල මතවාදයක් ගොඩනැඟීය. ඒ සමග ම එයින් මුළුමනින්ම කැඩී වෙන් වීමට කටයුතු කරන්නේ ‘මාක්ස්වාදයේ දරිද්‍රතාවය’ හා ‘අපෝහකයේ රූපිතය’ නමින් අගනා කෘතීන් දෙකක් ද එළිදක්වමින් ය.

බුදු දහම මත පදනම්ව තවදුරටත් සිය අදහස් වර්ධනය කරන එතුමා සංයුක්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයේ සඳහන් වන “බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝක සමුදය යත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධගාමිනී පටිපදාවත් පණවමි” යන බුදුවදන අනුව යමින් ‘මගේ ලෝකය’ කෘතියේ දෙවන සංස්කරණයක් ද එළිදක්ව යි.

ඒ අනුව බටහිර පුනරුද යුගයත් සමග ඇරඹී ක්‍රමයෙන් විකාශනය වෙමින් නිදහසින් පසුව වුව අපට අපේ ම වූ මාවතක් දැනුම් පද්ධතියක් ගොඩනඟා ගැනීමට අප මත ආධිපත්‍ය දරමින් තිබූ ප්‍රධානතම බාධකය, මානසික බාධකය මුළුමනින්ම පාහේ බිඳ දැමීමට එතුමා සමත් වීය.

විද්‍යාව (දැනුම) වාස්තවික (මනසින් ස්වායත්ත) නොවනවා මෙන්ම අප දැනුම ගොඩනඟනුයේ අප තුළ ඇති අවිද්‍යාව නිසා ය. මෝහය නිසා ය. ඒ එසේ වූව ද පෘතග්ජනයන් ලෙස අපට ජීවිතය පවත්වාගෙන යෑමට දැනුම අවශ්‍ය ය. සම්මුතීන් අවශ්‍ය ය. එබැවින් අපට දැනුම ගොඩනඟා ගැනීමට සිදුවේ. එහිලා අපට අපේම වූ දැනුමක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය වේ. නැතහොත් අනෙකකුගේ දැනුමක් පසුපස අපට යෑමට සිදුවේ. ඔව්! පසුපස -පස්සෙන් යෑමට!! අද අපට සිදුවී ඇත්තේ එය යි. ස්වභාව විද්‍යාවක් (දැනුමක්) ලෙස බටහිර විද්‍යාව (දැනුම) පස්සෙන් යෑමටත් සමාජ ව්‍යාපාරයක්, විද්‍යාවක් (දැනුමක්) ලෙස මාක්ස්වාදය හෝ ලිබරල්වාදය හෝ වෙන මොනයම් ම හෝ වාදයක් පස්සෙන් යෑමටත් ය.

එතුමා අපේ ම වූ දැනුමක් සඳහා අවශ්‍ය ප්‍රවාද නිර්මාණය කරගැනීමට සිය අවසාන මොහොත දක්වා ම වෙහෙස විය. ප්‍රවාද යනු එතුමාගේ වචනවලින් ම කිවහොත් සංගත කතන්දර (ආඛ්‍යාන) ය.

වසර 40කට පමණ පෙර මගේ ලෝකයෙන් දැනුම පිළිබඳ අපේ ම වූ දැනුමක් නිර්මාණය කරගැනීමෙන් ඇරඹි ගමන විවිධ මං පෙත් ඔස්සේ විහිද යන්නට විය.

ස්වභාව විද්‍යා ක්ෂේත්‍රයේ දී විශ්වයේ සංකෝචනය (සංවට්ඨ) ප්‍රසාරණය (විවට්ඨ) පිළිබඳ බුද්ධ දේශනාව ඇසුරෙන් විශ්වයේ ප්‍රසාරණය සම්බන්ධයෙන් අලුත් ප්‍රවාදයක් ගොඩනැඟීමට අවශ්‍ය දැනුම කැලණිය විශ්වවිද්‍යාල සිසුන් සමග ආරම්භ කරනු ලැබ ඒ සම්බන්ධයෙන් “සංවට්ඨ විවට්ඨ විශ්වයක්” පිළිබඳව නව ආකෘතියක් නිර්මාණය කරනු ලැබී ය.

සමාජ විද්‍යා, දේශපාලන ක්ෂේත්‍රයෙහිලා දෙමළ ජාතිවාදයේ විකාශනය (ලන්දේසීන් විසින් ඇතිකරනු ලැබ බ්‍රිතාන්‍යයන් විසින් බෞතීස්ම කොට වර්ධනය කරන ලද) හා ත්‍රස්තවාදයේ ආරම්භය පිළිබඳවත් දෙමළ ජාතිවාදය හා ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවත් එතුමා විසින් ගොඩ නඟන ලද සංගත කතන්දරය- ප්‍රවාදය කිසිවකුටවත් බිඳ හෙළිය නොහැකි තරම් ප්‍රබල විය. එම ප්‍රවාදය දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය මුළුමනින් ම පරාජය කිරීමෙහිලා බෙහෙවින් ම දායක විය.

එසේම සිංහල අවුරුද්ද පිළිබඳව වූ විවිධ මතිමතාන්තර හා ඒ පිළිබඳ වූ ඇතැම් පරස්පර අදහස් විසඳා ගැනීමට ඒ පිළිබඳව ප්‍රවාදයක් , සංගත කතන්දරයක් නිර්මාණය කිරීමට එතුමා සමත් විය. ඒ අනුව නොනගතය පිළිබඳව ද නැකැත් පිළිබඳව ද සංගත කතාවක් එතුමන් විසින් නිර්මාණය කරනු ලැබී ය.

ආර්ථිකය හා සංවර්ධනය පිළිබඳවත් එතුමා විසින් මූලික අදහස් කිහිපයක් ම වර්ධනය කරනු ලැබී ය. මේ ආර්ථිකය අපව ඩොලර්වලට ණය කරන අතර බටහිර රටවල් පරිසරයට ණයවන බව මෙයට වසර ගණනාවකට පෙර එතුමා විසින් සංගතව පෙන්වා දෙනු ලැබී ය. මෙම ආර්ථික විද්‍යව අනුගමනය කිරීම කිසිදා ස්ථාවර සමාජයකට හේතු නොවන බවත් එය අප විනාශය කරා නියත වශයෙන් ම ඇද දමන බවත් එතුමා එදා පෙන්වා දෙනු ලැබීය. අද වනවිට එතුමා එදා පළකළ ඒ අදහස් සැබෑවක් වී ඇත. අප ඩොලර්වලට ණය වී ඇත. බටහිර, බටහිර සංවර්ධනය ස්වභාව දහම සූරා කමින් කිසිදා ගෙවා නිමකළ නොහැකි ලෙස ස්වභාව දහම විනාශ කරමින් විශාල පරිසර අර්බුදයක් නිර්මාණය කර ඇත.

ඉහත සඳහන් කළේ මා තේරුම් ගත් ආකාරයට එතුමන් විසින් දැයට දායාද කරන ලද මහැඟි කාර්යන් ගෙන් කිහිපයක් පමණකි.

ඉන්ද්‍රියගෝචර අත්දැකීම් මත පදනම්ව ගොඩනැඟුණු බටහිර විද්‍යාව කරනුයේ හිතලු හැදීමත් එම හිතලු සිත්ගන්නාසුලු ආකාරයට ඉදිරිපත් කිරීමත් ය. ඒ නිසා ම එය ඉතා පටු සීමාවක ඇති සීමිත දැනුමකි. මනීන්ද්‍රිය දියුණු කිරීමෙන් ලබන අධ්‍යාත්මික දැනුමක් ඒ තුළ නැත. ධ්‍යානය වෙනුවට මුළුමනින්ම පාහේ අධ්‍යයනය වෙත එය යොමු වී ඇත. ඒ ඔස්සේ ගොඩනඟන හිතලු ගොඩක් එහි ඇත. ඉන් වැඩකරන හිතලුවලින් ඔවුන් වැඩ ගනී. ඒ තුළ ස්වභාව දහම නැතහොත් ධර්මය අවබෝධ කර ගැනීමට ගන්නා උත්සාහයක් දක්නට නැත. ඒ පිළිබඳව ද නලින් ද සිල්වා ඇදුරිඳු විටින්විට අදහස් පළ කරන්නට යෙදුණි. එහෙත් එතුමාට ඒ මඟ සම්පූර්ණ කිරීමට අවස්ථාවක් උදා නොවුණ බව මගේ අදහස ය. ඒ අධ්‍යත්මික මඟ-ධ්‍යාන මඟ ඔස්සේ යමින් ලොවට වැඩදායක දැනුමක් නිර්මාණය කිරීමට කටයුතු යෙදීම එතුමාට දක්වන උපහාරයක් ම වනු ඇත.

සංජීව විජේසිංහ
වරලත් ඉංජිනේරු

Share: