විදු ලොවට අභියෝග කළ ජාතික චින්තනයේ කගපත -නාලක ජයසේන


-නාලක ජයසේන

පානදුරේ වෑකඩ කෝවිලගොඩැල්ලේදී දරුවන් අටදෙනකුගෙන් යුතු පවුලක වැඩිමලා ලෙස 1944 ඔක්තෝබර් 20 වැනිදා උපන් ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර ද සිල්වාගේ දෙගුරුන් වූයේ දනියෙල් ද සිල්වා හා ඬේලින් පෙරේරා යන ගුරු යුවළයි. විදුහල්පතිවරයකු වූ ඔහුගේ පියාගේ මග පෙන්වීමෙන් ගමේ පන්සලත් එහි පුස්තකාලයත් ඇසුරට ඔහු කුඩාකල යොමු විය. හෙතෙම පානදුර වෑකඩ බෞද්ධාලෝක මිශ‍්‍ර පාසලේ තුන්වැනි පන්තිය දක්වාත්, නැවත දෙකේ පන්තියේ සිට (නිසි වයස නොපිරුණු නිසා යළි දෙකේ පන්තියට යොමු කර ඇත) පස්වැනි පන්තිය දක්වා තර්ස්ටන් විදුහලේත් ඉගෙනුම ලබා ඇත. තර්ස්ටන් විදුහලේ ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් පංතිභාර ගුරුවරිය ඔහු ගැන ලේක්හවුස් පුවත්පතකට ද ලිපියක් ලියා තිබේ.

හයවැනි ශ්‍රේණියේදී කොළඹ රාජකීය විදුහලේ විශේෂ පරීක්ෂණය සමත්ව සරසවි ප‍්‍රවේශය දක්වා එහි අධ්‍යාපනය ලැබූ හෙතෙම, පාසල් විය නිම කරන්නේ ශුද්ධ ගණිතයට හා ව්‍යවහාරික ගණිතයට වැඩිම ලකුණු ලබන්නාට හිමි රාජකීය ත්‍යාග ද ලබාගනිමිනි. එවකට රාජකීය විදුහලේ විවාද කණ්ඩායම් නායකයාද එතුමා වූ අතර, විවාදකයන් වෙනුවෙන් පිරිනමන වීරසූරිය ත්‍යාගයද දිනා ගන්නට සමත් විය. රාජකීය විදුහලේ සිසුවකුව සිටියදී සිංහල විවාද කණ්ඩායමේ ඇති වූ සිද්ධියකදී විදුහල්පතිවරයා විවේචනය කරමින් රාජකීය විදුහලේ සිංහලයට තැනක් නොදෙන බවට ලිපියක් සකසා එය විදුහල්පතිවරයාට ගෙන ගොස් ඇති ඔහු කුඩා කල සිට තම නිවහල් බව ක්‍රියාවෙන් සාධනය කොට ඇත. සාමාන්‍ය පෙළින් පසු සෑම ගණිත හා භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයකටම පැය එකහමාරකින් පිළිතුරු ලියා ශාලාවෙන් නික්ම ගොස් තිබූ ඔහුට විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයෙන් ශිෂ්‍යත්වයක් ලැබී ඇත.

ඒ අතර ලංකාවේ උපාධි අන්තර්මධ්‍යම ලෙස සැලකූ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උසස් පෙළ පරීක්ෂණයට ද පෙනී සිට එයින් ඉහළින්ම සමත් වීමේ සහතිකය මත විශ්වවිද්‍යාලයට පිවිසීමට ගතවන අතරමැදි කාලයේදී වාද්දූව මධ්‍යම විද්‍යාලයේ කෙටි කලක් උසස් පෙළ ගණිතය ද ඉගැන්වීම් කොට ඇත.

1962දී භෞතීය විද්‍යා ධාරාවෙන් ශ්‍රී ලංකාවේ සියලු පීඨවලට ඇතුළත් වීමට සුදුසුකම් සහිතව ඉහළම ලකුණු ලැබූ දහදෙනාගෙන් අයකු වශයෙන් ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමේ අවස්ථාව ඔහුට තිබුණද ප්‍රවාදාත්මක (සෛද්ධාන්තික) භෞතික විද්‍යාඥයකු (Theoretical Physicist) වන අරමුණෙන් (එම ආශාව එතුමාගේ සිතේ පහළ වී ඇත්තේ පාසලේ දසවැනි පන්තියේ ව්‍යවහාරික ගණිතය ඉගැන්වූ අරසරත්නම් නම් ගුරුවරයකුගේ ඉගැන්වීම් අතරතුරය) ගණිතය හදාරනු පිණිස ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණි මණ්ඩපයට ඇතුළත් වූ අතර, ගණිත විශේෂ උපාධියට තේරුණ පසු කොළඹට පැමිණ 1967 ඔක්තෝබර් මාසයේදී දී ගණිතය (සියයට පණහක් පමණ ගණිතමය භෞතික විද්‍යාව) පිළිබඳ ප‍්‍රථම පංතියේ ගෞරව සාමර්ථ්‍යයක් දිනා ගත්තේය. සරසවියේ දෙවැනි වසරේදීම උපාධි අවසන් පරීක්ෂණයට පෙනී සිටින්නට ඔහු අවසර ඉල්ලා ඇති අතර, අංශාධිපති ඩග්ලස් අමරසේකර හැර අන් ආචාර්යවරු ඊට එකඟ වී නැති බැවින් ඒ අවස්ථාව ලැබී නැත.
1967 ඔක්තෝබර් මාසයේදී තාවකාලික සහාය කථිකාචාර්යවරයකු හා 1968 මාර්තු මාසයේදී පරිවාස කථිකාචාර්යවරයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එක් වූ එතුමාට (විද්‍යාවේ රැජන ලෙස සැලකෙන්නේ ද ගණිතයයි.) අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස ඔක්ස්ෆර්ඩ් හෝ කේම්බ්‍ර්ජ් විශ්වවිද්‍යාලවලට යෑමේ අවස්ථාව තිබියදී තමා රුචිකළ විශ්වවේදය (Cosmology) විෂයයට කීර්තියක් ඉසිළු බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට 1969 ජනවාරි මාසයේදී ඔහු ඇතුළත් විය. කේම්බ්‍රිජ්හි ප්‍රකට මහාචාර්ය ඩෙනිස් ශ්‍යාමා යටතේ පර්යේෂණ කටයුතු කරන්නට ඔහුට අවස්ථාව ලැබී තිබුණ ද ඊට පෙර සසෙක්ස්හි පාඨමාලා ඇරැඹුණු බැවින් ඔහු එම විශ්වවිද්‍යාලයම තෝරා ගත්තේය.

ඒ වන විට එම සරසවියේ නව තාරකා විද්‍යා මධ්‍යස්ථානයක් ද (Astronomy Centre) ඇරැඹී තිබුණේ මහාචාර්ය මැක්රේ නමැත්තකුගේ මූලිකත්වයෙනි. සසෙක්ස් වෙත ගිය නලින් ද සිල්වාගේ උපදේශකයා වූයේ ද රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිවරයකු, කීර්තිමත් විද්‍යාඥයකු හා ගණිතඥයකු වූ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ Royal Holloway Collegeහි ගණිත අංශ ප්‍රධාන ලෙසද කටයුතු කර තිබූ ශ‍්‍රීමත් මහාචාර්ය විලියම් මැක්රේය (Sir William H McCrea). නලින් ද සිල්වා සසෙක්ස් යන විට මැක්රේගේ පාඨමාලාව අවසන්ව තිබූ නිසා ඊළඟ පාඨමාලාව හදාරා වසරකින් පසු සම්මුඛ පරීක්ෂණට පෙනී සිටින්නැයි කියා ඇතත් ඒ වන විට ස්ව අධ්‍යයනයෙන් ලබා ගත් දැනුමෙන් සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට නලින් ද සිල්වා කැමැත්ත පළ කොට තිබිණි. ඉන්පසු මැක්රේ සමග තවත් කීර්තිමත් විද්‍යාඥයකු වන ලින්ඩන් බෙල් (Donald Lynden-Bell CBE FRS) ඔහු සම්මුඛ පරීක්ෂණයකට භාජනය කොට ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා තෝරා ගෙන ඇත.
ඉන්පසු ගුරුත්වජ කාච හා ක්වේසාර පිළිබඳ අධ්‍යයනය කරන ලෙස මැක්රේ පළමුව නලින් ද සිල්වාට උපදෙස් දී තිබේ. එය සාධාරණ සාපේක්ෂතාවාදී න්‍යාය ඇසුරෙන් සිදු කළ යුතු විය. ඒ වනවිට ලංකා විශ්වවිද්‍යාලයේ එම ප්‍රවාදය උගන්වා නොතිබුණ නමුත් ස්වයං අධ්‍යයනය මගින් එය හදාරා තිබීම හේතුවෙන් අපගේ කථානායකයාණන් ඒ ගැන අධ්‍යයනයට යොමුව ඇත. එසේම ගුරුත්වජ කාච මගින් ඇති කෙරෙන බහුප්‍රතිබිම් ගැන පළමුව පෙන්වා දුන්නේ ද ඔහුය. එම සෛද්ධාන්තික පෙන්වාදීම පසුව බොබ් කාර්ස්වල් නමැති විද්‍යාඥයා විසින් නිරික්ෂණය කරන ලදි. ඒ අනුව අද අයින්ස්ටයින් කුරුසය (The Einstein Cross) ලෙස බටහිර විද්‍යාවේ ඉගැන්වෙන කරුණ පළමුව ප්‍රවාද ගත කළේ එතුමාය. (දැන් එය ඊටත් වඩා පහසුවෙන් ගණනය කරන ආකාරය එතුමා ප්‍රවාදගත කොට ඇත) එහෙත් මැක්රේ විසින් ලබා දුන් එම ගැටලුවට අමතරව නලින් ද සිල්වා භ්‍රමණය වන වස්තුවක් වටා අංශු චලනය වීම පිළිබඳ තවත් ගැටලුවක්ද විසඳීමටද යොමුවිය. ඒ අනුව ඔහු මැක්රේ යටතේ සිදුකළ ආචාර්ය උපාධි නිබන්ධය (DPhil) වූයේ තාරකා භෞතිකයේ සාපේක්ෂතාවාදී ගුරුත්වජ ආචරණ (Relativistic Gravitational Effects in Astrophysics) යන මාතෘකාවයි. වයස අවුරුදු 26 වන විට ඔහු එය නිම කළේය.

මේ අතර දර්ශන විශාරද උපාධියකට අවශ්‍ය අවම කාලය වන වසර දෙකකට පෙර එම පර්යේෂණය අවසන් කළ බැවින් ඊට දර්ශනපති උපාධියක් ලබා දෙන මෙන් මැක්රේගෙන් ඉල්ලා ඇත. එහෙත් වසර එකහමාරක් වැනි කෙටි කලෙකින් එම උපාධියට දර්ශන විශාරද (ආචාර්ය) උපාධියක් පිරිනැමීමට සසෙක්ස් සරසවියේ උපාධි පටිපාටිය සංශෝධනය කරන්නට එහි සනාතන සභාවට සිදුවිය. එතුමා සසෙක්හි එදා තැබූ ඒ වාර්තාව අද වන තෙක් බිඳින්නට කිසිවකුට හැකිව නැත.

මැක්රේ විසින් සසෙක්ස්වලදී ඔහුට ලබා දුන් සහතිකයක එතුමා ගැන සටහන් තබා ඇත්තේ your country will be proud of you යනුවෙනි. එකී උපාධි නිබන්ධයේ පරීක්ෂකයා වී ඇත්තේ මාන පිළිබඳ නව අදහස් ඉදිරිපත් කළ කීර්තිමත් විද්‍යාඥයෙකු වූ මහාචාර්ය ජී.ජේ. විත්‍රෝය (FRAS). කේම්බ්‍රිජ්හි ප්‍රකට විද්‍යාඥයන් වූ මහාචාර්ය රොජර් ටේලර් හා මහාචාර්ය රොබට් ස්මිත්ගෙන් ද ඔහු සසෙක්ස්හි ඉගෙන ගැනීමට වාසනාවන්ත වී තිබිණි.
ඒ කාලය වන විට එතුමාගේ පර්‌යේෂණ පත‍්‍රිකා ලොව ඉහළම පර්‌යේෂණ ජර්නලයක් වන නේචර් සඟරාවේ පවා පළවිය. ආචාර්ය නලින් ද සිල්වා Relativistic gravitational effects in astrophysics (තාරකා භෞතික විද්‍යාවේ සාපේක්ෂ ගුරුත්වාකර්ෂණ ආචරණ) මැයෙන් යුත් දර්ශනසූරී උපාධිය මගින් ‘‘භ‍්‍රමණය වන වස්තු වටා භ‍්‍රමණයට ප‍්‍රතිවිරුද්ධ අතට ප‍්‍රතික්ෂේප කෙරෙන අංශු අවස්ථිති සමුද්දේශ රාමුවේ භ‍්‍රමණය සමග ඇදීයාමේ ප‍්‍රතිපලයක් ලෙස පසුව වස්තුව භ‍්‍රමණය වන අතටම චලනය වන බව”‍ සඳහන් අයින්ස්ටයිනීය ප‍්‍රවාදය යොදාගනිමින් සෛද්ධානිත්කව ඔප්පු කරන ලද කල්පිතය වසර දහයකටත් පසුව එනම්, අසූව දශකයේ අගභාගයේදී බ්‍රිතාන්‍ය ඇමරිකානු ඒකාබද්ධ විද්‍යාඥ කණ්ඩායමක් විසින් සනාථ කරන ලදි.

මැක්රේගේ අවසාන ගෝලයා (ඔහු විශ්‍රාම ගිය බැවින්) වන ආචාර්ය නලින්ට සසෙක්හි තව දුරටත් අධිශිෂ්‍යත්වලාභියකු (Research Fellow) ලෙස තම පර්‌යේෂණ සහායකයා වශයෙන් රැඳී සිටින මෙන් මැක්රේගේ පුරප්පාඩුවට එම ධුරයට පත් මහාචාර්ය මාටින් රීස් (2005 වසරේ රාජකීය තාරකා විද්‍යාඥයා සහ 2005-10 රාජකීය සංගමයේ සභාපති) විසින් ඇරයුම් කළද එය ප්‍රතික්ෂේප කර ඔහු 1970 සැප්තැම්බර් මාසයේදී නැවත මව්බිමට පැමිණියේය.
ශ්‍රී ලංකාවට පැමිණි ඔහු පේරාදෙණියේ කනිටු ආචාර්යවරයකු ලෙස වසර පහක් කටයුතු කළේය. මාක්ස් ට්‍රොට්ස්කිවාදියකු හා සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වශයෙන් කටයුතු කරමින් සිටි එතුමා 1975 වසරේදී විදෙස්ගතව නැවත 1977 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණිය ද පේරාදෙණිය සරසවියේ ඉගැන්වීමේ අවස්ථාව අහිමි විය. 1964 වසරේ සිට ලංකා සමසමාජ පක්ෂයේ ක‍්‍රියාකාරිකයකු වූ එතුමා 1974 වසරේදී නව සමසමාජ පක්ෂය පිහිටුවීමේදී ඊට එක්ව එහි මධ්‍යම කාරක සභිකයකු ලෙස කටයුතු අතර, 1980 ජූලි වර්ජනයට පෙර එයින් ඉවත් විය.
පසුව 1979 වසරේදී අංශ ප්‍රධානත්වයද දැරූ කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයට ආචාර්යවරයකු ලෙස එකතු වූ එතුමා මාක්ස්වාදය න්‍යායාත්මකව ප‍්‍රශ්න කරමින් සිදු කළ රචනා මගින් ප‍්‍රබල සංවාදයක් ඇති කළේය. ඉන් පසු විද්‍යාවේ පදනමද ප්‍රශ්න කරමින් අදහස් ඉදිරිපත් කළේය. එම අදහස් ඔස්සේ ආචාර්ය නලින් ද සිල්වා 1983 වසරේ පටන් ජාතිකවාදී ප‍්‍රවේශයකට යොමු විය. අසූව දශකයේදී නැවත සසෙක්ස් වෙත ලැබුණු රාජකීය සංගමයේ වසරක අධිශිෂ්‍යත්වයක් මත ඔහු එහි ගොස් සේවය කොට ඇත.
ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ (International Astronomy Union) සාමාජිකත්වය සහිත එකම ශ‍්‍රී ලාංකිකයා වූ ඔහු බටහිර විශ්වවේදයට අයත් සෛද්ධාන්තික තාරකා භෞතික විද්‍යාව පිළිබඳ ආසියාවේ සිටි දැවැන්තයෙකි. ලන්ඩනයේ රාජකීය තාරකා විද්‍යා සංගමයේ අධිසාමාජිකත්වයද (Fellow of theRoyal Astronomical Society) ලබා සිටි එතුමාගේ නිල විෂය වන්නේ විශ්වවේදය, සාපේක්ෂතාවාදය, ක්වොන්ටම් භෞතිකය, න්‍යාය (Logic), විද්‍යාවේ දර්ශනය හා ඥාන විභාගයයි.
නමුත් එම විෂය සීමා අතික්‍රමණය කොට පතළ දැනුමකට හා චින්තනයකට එතුමා උරුමකම් කියනු ලැබුවේ සාංසාරික පිනකටය. ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජිකත්වය ද ඔහු විසින් දිනා ගෙන තිබිණි. එපමණක් නොව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ පර්‌යේෂණ අංශ ප්‍රධානි ලෙසද ඔහු කටයුතු කොට ඇත.
1982 සිට දිවයින, දි අයිලන්ඩ් හා විදුසර පුවත්පත මෙන්ම කාලය සඟරාව ඔස්සේ ජාතික චින්තන දරිද්‍රතාව මැඬලන්නට එතුමා තම පන්හිඳ කගපතක් කරමින් කළ මෙහෙවර අප‍්‍රමාණය. ඔහු විසින් සිදු කළ දේශන මෙන්ම වාද විවාද ද මෙතෙකැයි ගණනය කළ නොහැකිය. ගවේෂකයෝ, චින්තන පර්ෂදය හා වීමංසක පර්ෂදය වැනි සංවිධාන පිහිටුවමින් තම ජාතිකවාදී මතය වෙනුවෙන් ගෝල පරපුරක් බිහි කළ එතුමා කොටි ත‍්‍රස්තවාදය යුද මෙහෙයුමකින් පැරදවීමට අවශ්‍ය මූලික පදනමේ නිර්මාතෘවරයා වෙයි.
1986 වසර එතුමාගේ හැරවුම් ලක්ෂය වූයේනිර්මාණාත්මක සාපේක්ෂතාවාදය (වර්තමානයේදී එය සංස්කරණාත්මක සාපේක්ෂතාවාදය ලෙස ඔහු විසින්ම වර්ධනය කර ඇත) ලොවට හෙළි කළ ‘මගේ ලෝකය’ කෘතිය එළිදැක්වීමය. එතැන් සිට ඇරැඹි නව දාර්ශනික ගමන ඔස්සේ අධ්‍යාපන හා දේශපාලන පෙරළියක් රට තුළ සිදු කරන්නට එතුමා මැදිහත් විය. 1992 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් එතුමා වැඩතහනමකට ලක්වන්නේ බටහිර දැනුම් ආධිපත්‍ය ප‍්‍රශ්න කළ හෙයිනි. ඊට පෙර 1987 වසරේදී එතුමා දැරූ ගණිත අංශ ප්‍රධාන ධුරයෙන්ද ඔහු ඉවත් කෙරුණේ හේතු කිසිවක් නොදන්වාය.
විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමයේ (FUTA) ලේකම් හා සභාපති ධුර මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපති ධුරයද එතුමා දරා ඇත. හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ තාරකා විද්‍යා උපදේශකයකු ලෙසද කටයුතු කොට ඇති ඔහුගේ දැනුමෙන් ජාතික වශයෙන් ප්‍රයෝජන ගත් අවස්ථාද ඇත. ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ වසර පුරාම සෙවණැලි නොවැටෙන ස්ථානවල කණු සිටුවීමට අදාළ ගණනයන් කර ඇත්තේ ද එතුමාය.

සිය වැඩතහනමට විරුද්ධව තනිවම නීති මගින් කටයුතු කළ එතුමාගේ නිර්දෝෂ බව 2001 වසරේදී අධිකරණයෙන් තහවුරු වූ පසු ඔහු එම වසරේදී කැලණිය සරසවියේ ගණිත අංශයට සම්බන්ධ වූ අතර එහි මහාචාර්යවරයකු හා අංශ ප‍්‍රධානි වශයෙන් කටයුතු කෙළේය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ද ගණිත විනේතෲ (Chair Professor) මහාචාර්යවරයා ලෙස ඔහු තේරි පත්වුණද මුලින්ම අවස්ථාව ලද කැලණියේ රාජකාරිවලට වාර්තා කළේය. 2001 වසරේ දී ඔහු නැවත විශ්වවිද්‍යාලයකට සම්බන්ධ කරගැනීමට අවශ්‍ය වූ රෙකමදාරු ලිපියක් ලියූ සසෙක්හි රසායන විද්‍යා, භෞතික විද්‍යා හා පරිසර විද්‍යා පාසලේ පීඨාධිපති ඇතුළු තනතුරු රැසක් හෙබවූ විද්‍යාඥයකු වූ රොබට් ස්මිත් සඳහන් කර ඇත්තේ ඔහුගේ දර්ශන විශාරද නිබන්ධය (DPhil) මාස විස්සක් ඇතුළත වෙනස් තේමා දෙකක් ඔස්සේ සිදු කළ පර්‌යේෂණයක් බවයි. (I Still remember your time as a DPhil Student here, and the completion of your thesis - on two separate topics! - in the record time of some 20 months both parts of the thesis
contained some quite fundamental results)
එතුමා රජරට වකුගඩු රෝගය සුවපත්කරණයට ආධ්‍යාත්මික ශක්තිය යෙදවීම පිළිබඳව භිෂග්වේදය පිළිබඳ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන (වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු සෞඛ්‍ය ඇමැති) ඇතුළු පර්‌යේෂණ කණ්ඩායමක් සමග එක්ව නව ප්‍රවාදයක් බිහි කරන්නට යොමු වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ අතරය.

පීඨාධිපති ධුරයට අමතරව කැලණියේ පශ්චාද් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසද ඔහු කටයුතු කළේය. එම කාලයේදී එතුමාට කැබිනට් මණ්ඩලයේ අනුමතයෙන් ගණිත අංශ මහාචාර්යවරයකු ලෙස සේවා දිගුවක් ද ලැබිණි. නමුත් වකුගඩු රෝගය ගැන පර්‌යේෂණ අවසන් වූ සැණෙකින් ඔහු එම සේවා දිගුව නිමවීමට පෙර සරසවියට සමුදුන්නේය. මෙරට ගණිතය අධ්‍යයනාංශවල එතුමා සේවය කළද මොනෑෂ්, ස්වින්බර්ග් සහ මලාවි විශ්වවිද්‍යාලවල එතුමා උගන්වා ඇත්තේ භෞතික විද්‍යා අධ්‍යයනාංශවලය.
හෙතෙම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු ලෙසද පත් වුණු අතර, 2015 ජනවාරි මාසයේදී ඉන් ඉල්ලා අස් විය. ආචාර්ය නලින් ද සිල්වා විද්‍යාව, ගණිතය, දර්ශනය, ඉතිහාසය, දේශපාලනය, කලාව, භාෂාව, සාහිත්‍ය ඇතුළු විවිධ අංශ යටතේ රචනා කළ ලිපි සංඛ්‍යාව 6000 ඉක්මවයි. ඊට අමතරව කෘති රාශියක්ද රචනා කර ඇත. එසේම එතුමා විවිධ සංවාද සහ සම්මන්ත‍්‍රණවලට ද තම බුද්ධිමය දායකත්වය ලබාදුන්නේය.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් මියන්මාරයේ තානාපතිවරයා ලෙස 2020 වර්ෂයේදී ඔහු පත් කළ අතර, වසරකට ආසන්න කාලයක් එහි සේවය කිරීමෙන් පසු නැවත මෙරටට පැමිණියේය.

වරක් මැතිවරණයකට සටන් වැද තිබුණද මූලික වශයෙන් සිංහල බෞද්ධ චින්තනය මත පදනම්ව මතවාදී දේශපාලනයේ නිරත වූ එතුමා සාහිත්‍ය, කලාව, ඉතිහාසය ආදී සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර විෂය රාශියකද තම ප්‍රවාද නිර්මාණය කොට ඇත. ගණිතයේ සත්‍ය කියා යමක් නොමැති බව, ක්වොන්ටම් අංශු එකවර කිහිප තැනක පැවතිය හැකි බව, ශක්ති සංස්ථිතියට අවකාශයද ඇතුළත් විය යුතු බව, විද්‍යාලංකාර විවරණය යනාදී ගැඹුරු ප්‍රවාද නිර්මාණය කළ එතුමා ඒ සඳහා බුදුදහමෙන් පෝෂණය ලබාගෙන තිබිණි. ඔහු ඉදිරිපත් කළ නව දර්ශනයෙහිද පදනම බුදු දහමයි.

පසුකාලීනව කළු කුහර හා මන්දාකිණි ගැන අධ්‍යයනයක නිරතව සිටි ඔහු දැනුම පිළිබඳ ඉදිරිපත් කළ කතාව වටහා ගැනීමට බොහෝ අයට නොහැකි වූයේ බටහිර අධ්‍යාපනයෙන් බිහිවන මිනිසුන්ගේ චින්තනයේ ඇති අර්බුදය හේතුවෙනි.

එදා ආධ්‍යාත්මික ශක්තිය මත පදනම්ව දැනුම ලබා ගත් අපේ ජාතිය අද මුහුණ දෙන ආර්ථික, සමාජ, දේශපාලන යනාදී නේකවිධ ගැටලුවලට විසඳුම් සොයාගත හැකි මාර්ගය ආචාර්ය නලීන් ද සිල්වා විසින් අනාවරණය කර තිබිණි. එහෙත් අවාසනාවකට එතුමා උපහාසයට ලක් කිරීම වෙනුවට එම දර්ශනයෙන් කියැවෙන්නේ කුමක්දැයි ප්‍රත්‍යක්ෂ කරගන්නට එම විවේචකයෝ උත්සාහ නොගනිති.
මෙරට නව අදහස් ඉදිරිපත් කළ කවර හෝ ගණයේ විද්‍යාඥයකු සිටීනම් එතුමාගේ අදහස්වලට විරුද්ධව ප්‍රසිද්ධියේ තමා සමග වාදයකට පැමිණෙන මෙන් ඔහු කළ අභියෝගය පිළිගැනීමට කිසිවකු ඉදිරිපත් නොවිණි.

ජීවත්වුණු නලීන්ද සිල්වා මහතාට වඩා කීර්තිශේෂභාවෝපගත නලීන් ද සිල්වා මැතිතුමා සිය දහස් ගුණයකින් බලවත් බව අනාගතය පසක් කරනු ඇත.
Share: