සාංසාරික මගේ ලෝකය -තාරක බමුණුආරච්චි


-තාරක බමුණුආරච්චි

මා ප්‍රසිද්ධ පුද්ගලයෙකුද නොවේ. ප්‍රසිද්ධ පුද්ගලයන් සමග ඇසුරක් ඇත්තෙකුද නොවේ. එහෙත් ලංකාවේ ඉපදීම ඇතුළු පෙනෙන නොපෙනෙන හේතු ගණනාවක් නිසා සුප්‍රකට මෙන්ම විශිෂ්ට ලංකා පුත්‍රයන් අතරින් දෙදෙනෙකු පුද්ගලිකව දැන හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ දැක්මට සජීවීව සමීපවීමට මට ඉඩ ලැබුණි.

මේ අතරින් ලංකාවේ නම් වඩාත්ම ප්‍රසිද්ධ තැනැත්තා වූයේ අභාවයට පත් වූ නලින් ද සිල්වා මහතාය. මතකයේ හැටියට මා එතුමාගේ ලිපි මුලින්ම කියවූයේ විදුසර පුවත්පතේ අලවත්තාගොඩ ප්‍රේමදාස සහ ග්‍රැන්විල් ධර්මවර්ධන යන විද්වතුන් සමග කල වාද විවාද වලිනි. තුම්මුල්ල පැත්තෙන් පාසල් යද්දී විශ්වවිද්‍යාලයේ තාප්පවල රැකියාවෙන් නෙරපූ 'ආචාර්ය නලින් ද සිල්වා යලි සේවයේ පිහිටවනු!' යැයි පෝස්ටර් ගසා තිබුණේද ඒ කාලයේම වියයුතුය. ඒ කතාව එතැනින් අවසන් විය.

දෙවැනි කතාව ආරම්භ වූයේ ඔහු ජාතික ව්‍යාපාරය වෙනුවෙන් දුෂ්කර කාලසීමාවක 'උඩු ගං බලා පිහිනමින්' ලියූ දේශපාලන ලිපි ඔස්සේය. යුද්ධය තහනම් වචනයක් වූ ඒ කාලයේ ඔහු නින්දා අපහාසද විඳිමින් හුදකලා සටනක නිරත වූයේය. තමා අසාර්ථක පුද්ගලයෙකැයි ඇතැම් ලිපියක ලීවද එය සාර්ථකව අවසන් වූ සටනක් වීය. ඒ කාලයේම 'මගේ ලෝකය' කියවීමි. කල් නොයාම 'මගේ ලෝකය' මගේ ලෝක දැක්මේ මුල්ගලක් වූයේ ය. එය ඉහත කී දෙවැනි හමුවටද පාර කැපීය. මේ හමුවීම් සහ වෙන්වීම් සාංසාරික යයි මම අදහමි.

ආචාර්ය නලින්ගේ අසම්ප්‍රදායික අදහස් වලින් හිතවතුන් මෙන්ම විරුද්ධවාදීන්ද හැම පැත්තෙන්ම ඇති කරගැනීමට අපහසු නොවීය. බෙදුම්වාදයට පක්ෂවූවන්ගේ සිට ලංකාව ඇතුලේ විද්‍යාවේ ප්‍රගමනය වෙනුවෙන් පෙනීසිටින්නේයැයි සිතන්න වුන් ද තබා සම්ප්‍රදායවාද දැඩිව ගත් බෞද්ධයන් අතරද ඔහුගේ අදහස් නොරුස්සන්නන් වීය.

ඔහු සමාජ සම්මත මහත්මා වදන්වලින් තොරවම ප්‍රතිවාදීන්ව කටුක ලෙස විවේචනය කිරීම ආදිය ඊට එකතුවන්නට ඇත.ඒ සියල්ල වෙනස් කළ යුතුව තිබීයයි සිතුවද ඇතැම් ප්‍රතිවිරෝධතා සමනය කර ඒ අදහස් සමාජයට කීමට ක්‍රමයක් නැත.

දැන් ඒ සියල්ල අතීත කතාවක් වී තිබේ. අපේ කාලයේ හා අවකාශයේ දාර්ශනික ගුරුවරයාගේ කතන්දර අසන්නට දැන් ඉඩක් නැත. 'ලෝකය' බඹයක් පමණ වූ ශරීරය තුලම පැනවෙන හැටි නූතන රෝහිතස්සයන්ට කියන්නට ඔබ ලියූ මගේ ලෝකය නම් අට්ඨකතාවට බොහොම පින්! නලින් සර්, ඔබට විද්‍යා කතන්දරත් සෙසු කතන්දරත් නොසෑදෙන අජරාමර නිවන් සුවම අත්වේවා!!!
Share: