හෙළය මැ තැවේ සුරුවෙනි, ඔබෙ වියොව දැනී ! -චේතිය ප්‍රභාෂණ


-චේතිය ප්‍රභාෂණ

බටහිර හිසෙහි ලා ජාතිය දෙස රවමින්
වහලුන් ලෙස වැටී මිරිකී සිටින දොමින්
සිහලුන් අමතමින් රට දැය වෙත මැ පෙමින්
ඔබ කළ මෙහෙය අනගි යැ ගුරුතුමනි නලින්

වාදය නොහැර මත ගත් අභීතව හඬින්
ජාතික වාදයට ඔබ ගුරු තරුව නලින්
ජෝතිය එයින් ජාතිය ලද අනගි බැවින්
ජාතිය ඔබට ණය ගැති වේ සදා බැතින්

නන් දෙස පැමිණි දොස් සහ අපහාස මැද
සන් සුන් ලෙස ද දැඩිවද පිළිතුරන් බැඳ
දැක් මෙන් විසල් අහසක් සේ නිමක් අඳ
දැන් මේ ජාතියට ජාතික හඬක් වෙද ?

සිංහලකමට ආ පරදෙස් ගතිය ගැන
සිංහල ජාතියට කියමින් නිතර බණ
සිංහලකම නගන්නට හඩ වෙමින් රණ
සිංහලයට අහිමි විය එහි ගැහෙන පණ

අතැර නොහැර බැසගත් මතයෙහි එඩින
වියද දෙවැනි තැන ලා තරුණෙකු ලෙසින
සිහල කම නගන්නට ජවයෙනි දැඩින
කහල නඳ නැගූ කළ මෙහෙය අපමණ

දෙස බස රැස ට අදරිනි දැනුමෙනි පොහොණී
පර ගැති කමට කඟමෙනි හෙළ කම අගනී
සර සවි තොමෝ කඳුලිනි වෙණ නඳ බිඳුණී
හෙළ යමැ තැවේ සුරුවෙනි, ඔබෙ වියොව දැනී !

ගුරුතුමනි, ඔබගේ අභාවය අසා අප මහත් කම්පාවටත් දුකටත් පත්විය. ජාතික චින්තනය ගොඩ නැගීම සඳහා අපට ඔබ ලබා දුන් පන්නරට අපත් ජාතියත් ඔබට සදා ණය ගැතිය. ජාතියේ මහා ප්‍රාඥයා යන විරුදාවලිය ඔබට බර වැඩි නොවේ. එසේ හෙයින්,

සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය විසින් බිහිකළ අග්‍රගන්‍ය ගිහි ප්‍රාඥයා වූ, මහාචාර්‍ය නලින් ද සිල්වා නම් ජාතියේ මහා ප්‍රාඥයාණෙනි, ඔබට අමා මහ නිවන් සුවය ලැබේවා !

Share: